milinda-prashna

2013.11.06 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

කෝපි වගාව ශ‍්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ලංකාවට පැමිණි ආගන්තුක වගාවකි. බටහිරින් පැමිණි වැවිලිකරුවෝ වෙහෙස මහන්සියෙන් කදුකරයේ කෝපි වගා කළහ. අනපේක්ෂිත ආකාරයට වසංගත රෝගයක් බෝ වූ අතර වගාකරුවන්ට කෝපි වගාව තිත්ත එකක් බවට පත්විය. තේ වගාව ලංකාවේ ඇරඹුනේ ඉන් අනතුරුවය. ලෝකවාසීන්ට පළමුවෙන් කෝපි රහ දැනෙන්නට පටන්ගත්තේ ඉතියෝපියාවෙන්ය. පසුව අධිරාජ්‍යවාදීන්ට යටත් වූ ලෝකයේ සෑම රටකටම කෝපි වගාව ව්‍යාප්ත වූ අතර අද වන විට ඉහළම මට්ටමේ පානයක් වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.
කෝපි පානය රසවත් නමුත් කෝපි වගාකරුවන්ගේ ජීවිත රසවත් නැත. ඉහළම වෙළ`ද නාම යටතේ අළෙවි වන කෝපි කෝප්පයක මිල ඇමරිකානු ඩොලර් දෙකක් වන විට කෝපි වවන කම්කරුවෙකුගේ දිනක ආදායම ඩොලර් ශතයක් බව පර්යේෂණ වාර්තා දක්වයි. විකිණෙන මිලෙන් දෙසීයයෙන් පංගුවකි. මෙම ආදායමෙන් එදා වේල ගත කරන්නට වැරදරන මිනිසුන් ජීවත්වන ලෝකය තුළ කෝපි කෝප්පයක් පානය කරමින් පැය ගණන් සාකච්ඡා තර්ක විතර්ක කරන සමාජ රටාවක් අද ගොඩනැගී තිබේ. කෝපි වැවීම දුක්බර නමුත් කෝපි පානය ධනවත් සමාජයේ සංකේතයක් බවට පත්ව තිබේ. කෝපි පානය වෙනුවෙන් වෙන් වූ අවහන්හල් ජනප‍්‍රිය සංස්කෘතියට එකතු වී ඇති අතර ලංකාවේ පවා ආනයනය කළ ඉහළම ප‍්‍රමිති සහිත කෝපි ඇට වලින් සකස් වන කෝපි කෝප්පයක් පානය කරන්නට ඇති හැකියාව වර්ධනය වෙමින් තිබේ.
කෝපි වලට ඇලූම් කරන රසවතුන් පානයක් වශයෙන් පමණක් නොව එයින් ඇති කරන ආර්ථික සමාජ පසුබිම ගැන ද අවධානයෙන් සිටිති. දුප්පත් මිනිසුන්ගේ ජීවිත නංවන සහ පරිසරය ආරක්ෂා කරමින් කෝපි නිපදවීම ගැන නොයෙකුත් තර්ක විතර්ක ගොඩනැගේ. මෙම පසුබිම තුළ බ‍්‍රසීලය, ජමෙයිකාව සහ අයිවරිකෝස්ට් යන රටවල් කෝපි වගාව සහ අපනයනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළටම නැගී ඇත. මේ අතර පසුගිය වසර කිහිපය තුළ අලූතෙන් වගාවට එකතු වූ වියට්නාමය අද කෝපි වගාව අතින් ප‍්‍රමුඛ තැනෙකට පැමිණ තිබෙන බව ද ජාත්‍යන්තර වාර්තා දක්වයි.
සියවස් දෙකක් පමණ කාලයක් තේ වගාකරන ශ‍්‍රී ලංකාවේ නාමය දිදුලන්නේ රසවත් තේ නිපදවන රටක් වශයෙනි. තේ කෝප්පය රසවත් නමුත් ශ‍්‍රි ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සමාජයේ දී ද, කෝපි කෝප්පයට හිමි සමාජ වටිනාකම දිනාගන්නට තේ කෝප්පය සමත් ව නැත. එය ඇති කරන්නට දරන තැත අගය කළ යුතුය. කෝපි වශයෙන් පමණක් නොව කෝපි අවන්හල් සන්නාම වශයෙන් වෙනමම ද ජනප‍්‍රිය වී තිබේ. තේ නිෂ්පාදනය හා බෙදාහැරීම හමුවේ පානය කරන අවන්හල් සන්නාම වශයෙන් ප‍්‍රකට වී නැත. විවිධ රසය සහ විවිධ බාහිර ලක්ෂණ එකතුකරමින් තේ රසය අලූත් ආකාරයකට වි`දින්නට සැලැස්විය හැකිනම් තේ කෝප්පයේ මිලට අලූත් වටිනාකමක් එකතු කළ හැකිවෙයි.
එහෙම නැත්නම් කෝපි කාලයේ කෝපි වැවූ ශ‍්‍රී ලංකාවට කෝපි යුගයේ දී කෝපි වගා කර රටට අලූත් පැත්තක් විවර කරන්නට ද බැරිකමක් නැත. තැනෙක සුළු වශයෙන් කෝපි වගා කරන නමුත් එය වානිජ මට්ටමින් මහා පරිමානයෙන් නොවේ. ආරම්භයේ දී කෝපි වගාවට අත් පත් වූ ඉරණම ගැන ඇති අමිහිරි මතකය හමුවේ කෝපි වගා කරන්නට උත්සාහ දරන පිරිස සීමිතය. තේ වගා කරන ක`දුකරය ලෝකයේ ඉහළම වටිනාකමක් ඇති රොබස්ටා කෝපි වවන්නට සුදුසුය. පහත රට ප‍්‍රදේශයේ එතරම් වැඩි මිලක් නැති ඇරබිකා කෝපි වගාකරන්නට හැකියාව තිබේ. කෝපි කාලයේ දි මෙන් වගාවට හානි පැමිණෙන අවස්ථාවල එය මර්දනය කරන තාක්ෂණය සහ රසායනික ක‍්‍රම දියුණු වී ඇති බව පෙනේ.
කෝපි කාලයෙන් කෝපි යුගයට ඇතුළු වෙමින් පවතින අවස්ථාවේ කෘෂිකර්මයට තෝරාගත් වානිජ අරමුණු සහිතව උසස්ම සන්නාම සහිතව කෝපි වවන්නට ලංකාවට හැකියාවක් ඇත. එය විශේෂිත ආකාරයට දියුණු කර ගැනීමට අවධානය යොමු කිරීම වැදගත්ය.