milinda-prashna

2013.09.18 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

සිරි පතුල වදින්නට වන්දනාවේ ගිය නඩ ගැන පැරණි පත   පොතෙහි සදහන්ය. අප ජීවත්වන්නේ ඉඩකඩම් දු දරුවන්ට පවරා කැපවීමෙන් ඉතා දුෂ්කර ගමනක් ලෙස වන්දනාවේ ගිය ඥාතීන් ගැන මතකය තවමත් පවතින සමාජයකය. කාලය ගතවන විට පැවැති ස්වරූපය වෙනස් වී ඇත. වර්තමානයේ ජීවත්වන අපට අභ්‍යවකාශයට ගමන් කරන චාරිකාවකට ආසන වෙන්කර ගැනීමට ඇති හැකියාව ගැන තොරතුරු අසන්නට ලැබී තිබේ. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව ජන ජීවිතය පරිවර්තනය කරන්නට බලපා ඇති ආකාරය ඉතාමත් විස්මිතය.
කියවන්නට ලැබෙන ප්‍රවෘත්ති වලට අනුව, ජාත්‍යන්තර සමාජයේ ධනවතුන්ට අභ්‍යවකාශයට චාරිකා සදහා අවස්ථාව විවෘතය. මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර වෙන්කර ගත හැකිය. වානිජ පදනමකින් අභ්‍යවකාශයට සංචාර සංවිධානය කරන සමාගම් පිහිටුවා ඇත. එය අලූතෙන්ම දියුණුවන සංචාරක සංස්කෘතියයි. අභ්‍යවකාශයට ගමන් කිරීමට විශාල වියදමක් දරන්නට සිදුවෙයි. වානිජ පදනමකින් ගුවන් මගී යානා සේවා ඇරඹෙන විට ද පසුබිම මෙවැනි බව මාධ්‍ය වාර්තා දක්වයි. ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල ඉතා අධික වූ අතර එය අසීමිතව ධනය ඇති සුළු පිරිසකට පමණක් සීමා වී තිබුණි. දශක ගණනක් ඇතුලත ගුවන් ගමන, මිල අඩු සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාධ්‍ය යක් වී තිබේ. අභ්‍යවකාශයට සංචාරය ද එවැනි එකක් වීමට බැරි නැත. ලෝකය දියුණුවන අතර එහි තරම අනුව අභ්‍යවකාශයට කරන ගමන ද සරල එකක් බවට පත්වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
අභ්‍යවකාශය හරහා කරන ගමන් කිරීම තුළින් ලෝකයේ රටවල් තවත් සමිප විය හැකි බව මතධාරීහු යෝජනා කරති. දැනට ලෝකයේ දෙකෙලවර දක්වා ගුවන් යානාවකින් ගමන් කරන්නට යන පැය ගණන අහසේ ඉහළ අභ්‍යවකාශයට හරහා ගමන් කරන යානා වලින් තවත් සීමා සහිත කරනු ඇත. පැය දහයක් දොලහක් යන ගමනක් පැය දෙක තුනකට අඩු වන විට කාර්යක්ෂමතාව සහ ලෝකයේ කුඩා බව ගැන අලූත් අත්දැකීම් සමාජයට හිමිවනු නිසැකය.
මැදි ආදායම් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අනාගතය කෙබදු විය හැකි දැයි පූර්ව සැලසුම් වලට පැමිණීමේ අවශ්‍යතාවයක් තිබේ. තවදුරටත් දුපතක් වශයෙන් හුදෙකලා නැත. ජාත්‍යන්තර සමාජයේ සිදුවන දේ ඉක්මනින් රටට පැමිණෙයි. ජංගම දුරකථනය, පරිගනක තාක්ෂණය එයට හොද උදාහරණ සපයයි. අද මෙරට ජනගහනයටත් වැඩි ප්‍රමාණයක් දුරකථන භාවිතා වන බව සංඛ්‍යා ලේඛන පෙන්වයි. රුහැන් නොමැති ජංගම දුරකථන භාවිතය විශාල වර්ධනයක් දක්වා තිබේ. දියුණු තාක්ෂණික මෙවලමක් වශයෙන් දුරකථනය සාමාන්ය ජනතාවට දුරස්ථ විය හැකිය යනුවෙන් තිබූ අදහස අද පිළිගැනෙන්නේ නැත. අභ්‍යවකාශයට ප්‍රවාහන සංකල්ප ගැන ද තක්සේරු කළ යුතු එම ස්ථාවරයෙහි පිහිටමින් බව සදහන් කිරීම අවශ්‍යය.
සමාජය ද ගෝලියකරණයෙන් ඔබ්බට ගමන් කරමින් සිටී.ඒ විශ්වීයකරණයයි. සන්නිවේදනය සහ ප්‍රවාහනය පොලොව තලයෙන් ඔබ්බට පැතිරෙමින් තිබේ. රාවණා ඉතිහාසය ඇති බව කියන ලංකාවට අභ්‍යවකාශ අවස්ථා උපයා ගැනීම ගැන පර්යේෂණ කළ හැකිය. මෙරට ජීවත් වූ ආතර් සි. ක්ලාක් මහතා ඔහුගේ කෘතියක ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශයට යානා කක්ෂ ගත කරන්නට සුදුසුකම් තිබෙන බව දක්වා තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන හැටක් පමණ වන ආර්ථිකයක් ඇති රටක් වන ශ්‍රී ලංකාවට එවැනි ව්යාපෘති අමාත්‍යංශ මට්ටමින් ක්‍රීයාත්මක කරන්නට හැකියාවක් නැත. නමුත් ආයෝජකයන්ට සුදුසු පරිසරයක් සකස් කළ හොත් අනාගතයේ දී එයින් අප රටට ලැබෙන ආර්ථික ශක්තිය ඉතාම ප්‍රබල එකක් වනු නොඅනුමානය.