Image2013.05.29- ලංකාදීප-මිලින්ද මොරගොඩ 

 

මාර්ග සංවර්ධනයෙහි කැපී පෙනෙන වෙනසක් පසුගිය කාලය තුළ රට තුළ සිදුව තිබේ. එහෙම නමුත් ගමනා ගමනය පහසු වී නැත. අගනුවර හා තදාසන්න ප‍්‍රදේශයක ප‍්‍රවාහනය යනු කාලය නාස්ති කරන සහ එයින් රටට අධික පිරිවැයක් දරන්නට සිදුව සිදුවන වෑයමකි. ඉතාම දියුණු තාක්ෂණය සහිත අති සුඛෝපභෝගී වාහන වලට පවා මහ පාරේ තදබදය මැද කළ හැකි යමක් නැත. මාර්ග පද්ධතිය ද, තවතවත් වාහන මහ මගට එකතුවීම ද වෙනුවට ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා මගී ප‍්‍රවාහනයේ පෙරැළිකාර වෙනසක් සිදුවිය යුතුය. එම වෙනස කරන්නට නම් දර්ශනයක් ඇතිව අලූත් ප‍්‍රතිපත්ති තින්දු වලට එළැඹිය යුතුය.

කුඩා ඳුපතක ජිවත්වන ලාංකිකයන් ප‍්‍රවාහනය වෙනුවෙන් ගොඩබිම විනා සාගරය සහ රට තුළ ඇති ගංගා පරිහරණය කරන්නේ නැත. එය ඓතිහාසික වරදකි. ලංකාව යටත් කර ගත් අධිරාජ්‍යවාදීහු ස්වදේශිකයන්ට මුහුදු තරනය කිරීමේ හැකියාවට ඉඩ නොදෙන්නට වග බලා ගත්හ. නාවික ශක්තිය තිබූ ඔවුහු කොළඹ, ගාල්ල සහ ත‍්‍රිකුණාමලය ඇතුළු වරාය තමන් සතු කර ගත්තේය. රට තුළින් පැන නැගෙන අරගලයකට විනා රට තුළ පාලනය ගෙන ගිය පාලකයන්ට මුහුදෙන් වටකර කරන ආක‍්‍රමණයක බියක් නොතිබිණ. භීතිය තුරන් කරන ලද්දේ ස්වදේශිකයන් ගේ නාවික ශක්තිය අහිමි කිරීමෙන්ය. ඳුපත වටා බලය තහවුරු කර ගත් යටත් විජිත පාලකයෝ රට තුළ තිබූ සම්ප‍්‍රදායික ඔරු පාරු සේවාව ද නව පණක් දී තමන් යටතට අත් පත් කර ගත්තේය. මහා මාර්ග තැනූ සහ දුම්රිය ද හඳුන්වා දුන් යටත් විජිත පාලකයෝ අලූතින් ඇල මාර්ග ඉදි කර තම වෙළඳ භාණ්ඩ පහසුවෙන් වරායට ප‍්‍රවාහනය කරන පසුබිම ද ඇති කළේය.

ගොඩ බිම ප‍්‍රවාහනය අර්බුදයක් ව ආර්ථිකයට බාධා පමුණුවන මෙකල රටට අහිමිව ගිය සාගරය හා ගංගා ආශ‍්‍රිත ප‍්‍රවාහනයට අලූතෙන් අවතීර්ණ විය හැකිය. එය කාර්යක්ෂම සහ ලාභදායී ප‍්‍රවාහන මාධ්‍යයක් වනු නිසැකය.

ශ‍්‍රී ලංකාව වටා පිහිටි වෙරළට සමීප ප‍්‍රධාන නගර වලට මගින් හා භාණ්ඩ ප‍්‍රවාහනයට මුහුද ප‍්‍රයෝජනයට ගත හැකිය. රට දෙකෙලවර යා කරන අධිවේගී මං ඇති කර එයට ගැලපෙන අලූත් වාහන ආනයනය කරන අතර දකුණේ සිට උතුරට මුහුදෙන් ගමන් කරන්නට ඉඩ පහසුව ඇති කිරීම අවශ්‍යතාවයකි. කොළඹ සිට ගාල්ලට මුහුදෙන් යාත‍්‍රා සේවාවක් ඇති කිරීම මගීන්ට පැරණි අත්දැකීම් අලූත් ආකාරයට විඳ ගැනීමක් වනු ඇත. යටත්ව සිටි යුගයේ ආකල්ප වලින් මිදී රට පුරා ගොඩබිමෙන් පමණක් නොව සාගරය හා ගංගා ඔස්සේ ද සැරිසරන්නට හැකි ආකාරයට අවකාශය පුළුල් කිරීමකි. තීරු බදු ගෙවා සුඛෝපභෝගී රියක් ආනයනය කර මහ මගට ඉන්ධන ද, කාලය ද නාස්ති කරනුවාට වඩා අඩු වියදමකින් සුඛෝපභෝගී බෝට්ටුවකින් ප‍්‍රධාන නගර කරා ගමන් කළ හැකි බව අලූත් ආකල්ප ඇති ආයෝජකයන්ට පෙනී යා යුතුය. තායිලන්තයේ බැංකොක් නුවර ප‍්‍රධාන ගංගා ආශ‍්‍රිතව පවත්වාගෙන යන මගී හා භාණ්ඩ ප‍්‍රවාහන බෝට්ටු සේවා ක‍්‍රම අධ්‍යයනය කරන විට එය වටා ඇති අලූත් ආර්ථිකයේ තරම අවබෝධ කර ගත හැකිය. ගංගා ආශි‍්‍රතව ජීවත්වන කර්මාන්තකරුවන් හා ගොවියන් තම නිපැයුම් බෝට්ටුවකින් ගෙනැවිත් එහිම කරන පාවෙන බෝට්ටු වෙළඳාම එරට සංචාරක ව්‍යාපාරයට ද වාසියක් වී තිබේ.

රට පුරා ඇති ප‍්‍රධාන ගංගා සහ ඇල මාර්ග වල තත්ත්වය සොයා බලා ඒවායෙහි මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනයට තෝරා ගත් ආයෝජකයන්ට අවසරදීම  ආණ්ඩුවට හෝ පලාත් පාලන ආයතන වලට කළ හැකිය. දැනටත් සුළු වශයෙන් නොගැඹුරු මුහුදු ගමන් වශයෙන් සංචාරකයන්ට සීමා වී ඇති බෝට්ටු සේවා රට වටා මුහුදෙන් ගමන් බිමන් කළ හැකි සේවා ලෙස වැඩි දියුණු කරන්නට හැකියාව තිබේ. එයින් පරිසර හිතකාමී ආස්වාද ජනක අලූත් ආර්ථිකයක් රටට බිහිවනු නිසැකය. අධිවේගී මාර්ග සංස්කෘතිකයකට හුරුවෙමින් සිටින ලාංකේය ප‍්‍රජාවට එයට විකල්ප රටට අනන්‍ය අලූත් තලයකට කැඳවන තීන්දු ගැනීමේ වගකීමක් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සතුව ඇත.