2013.05.15- ලංකාදීප- මිලින්ද මොරගොඩ

 

Image

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප‍්‍රවනතාව ලෝකය පුරා  ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක‍්‍රියාවට නැගෙමින් තිබේ. එහි පළමු පියවර තබා ඇත්තේ ප‍්‍රංශයයි. ප‍්‍රංශයේ පුරවැසියෝ ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. පුරවැසි භාවය අත් හැර නැති ප‍්‍රංශ වැසියන්ට තමන්ගේ මවුබිමේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට අයිතියක් ඇති බව දීර්ඝ කාලයක් විවිධ සංවාදයන්ට බඳුන්ව තිබුණ මාතෘකාවකි. අවසානයේ දී ලෝකයේ නොයෙක් ප‍්‍රදේශ ජාත්‍යන්තර මැතිවරණ කොට්ඨාශ බවට පත් කර තිබේ. ඒවායේ ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන්ගේ ඡන්දයෙන් එරට පාර්ලිමේන්තුවට රටින් බැහැර මහජන නියෝජිතයන් පත් කරගැනීමට හැකිවන ආකාරයට ක‍්‍රියාවට හරවා ඇත.

දත්ත වලට අනුව මිලියනයකට වැඩි ප‍්‍රංශ ජාතිකයන් පිරිසක් ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. මෙම පිරිස වෙනුවෙන් ජාත්‍යන්තරව විහිදුන මන්ත‍්‍රී ආසන එකොලහක් නම් කිරීමට ප‍්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. එයින් විශාලතම මැතිවරණ කොට්ඨාශය යුරෝපීය රටවල ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන් ආවරණය කරන බල ප‍්‍රදේශය බව සඳහන්ය. මැතිවරණයේ දී මෙම කොට්ඨාශ නියෝජනය කරන අපේක්ෂකයන් එම විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්දයෙන් තෝරා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු රුස්වීම් සඳහා ප‍්‍රංශයට පැමිණ නිසි ආකාරයට කි‍්‍රයාකරන පුළුල් වගකීමක් පැවරේ.

ශ‍්‍රි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගත පැවැත්ම ගැන ද වත්මනෙහි විවාදයකි. බලය විමධ්‍යගත කිරීම එහි එක් අවශ්‍යතාවක් බව ප‍්‍රකාශ වෙයි. පවතින ව්‍යවස්ථාව වෙනස් කිරිම ගැන ද නොයෙක් අදහස් පැන නැගී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ රාජ්‍ය පාලනයට නතු කරගත් ආසියාවේ රටවල් අතර ශ‍්‍රී ලංකාවට කීර්තිමත් ඉතිහාසයක් ඇත. මෙම ඉතිහාසය තහවුරු වන ආකාරය ගැන අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. එතෙර ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන් මිලියනයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය ගැන කතා කරන අතර ශ‍්‍රී ලංකාවේ මිලියන දෙකක පිරිසක් විදේශගතව සිටී. මිලියන විස්සකට මදක් වැඩි ජනගහනයෙන් සෑමෙන පිරිසක් බව බැලූ බැල්මට පෙනේ. මෙකී ලාංකිකයන් එක අවුරුද්දකට රටට එවන ධනය ඇමරිකානු ඩොලර් බිලියන හයහමාර ඉක්මවයි. ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන මාර්ග අතර පළමු තැනට පැමිණ ඇත්තේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන විනිමය බව පැහැදිලිය. රටට වැඩදායක ආකාරයට වෙහෙස මහන්සියෙන් ශ‍්‍රමය කැපකරන ජනතාව ගැන සමාන අවධානයක් දැක්වීම අද තාක්ෂණික යුගයේ පහසුවෙන් කළ හැකිය. විදෙස්ගතව සිටින ලාංකික පුරවැසියන් වෙනුවෙන් ජාත්‍යන්තරව වෙන් කරන මැතිවරණ කොට්ඨාශ කෙසේ වෙතත් තාවකාලිකව රටින් බැහැරව සිටින මෙම පුරවැසියන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම ඉතාම වැදගත්ය. මැතිවරණයක් පවත්වන අවස්ථාවේ රටින් බැහැරව සිටින පුරවැසියන්ට ඡන්දය පළ කරන්නට ඇතැම් රටවල් තානාපති කාර්යාල හරහා දැනටත් ඉඩ දී තිබේ. ප‍්‍රංශය තරමට ම නැතත් පුරවැසියන්ගේ අයිතිය තහවුරු කරන ආකාරයට ඡන්දය පාවිච්චි කරන්නට විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබේනම් වැදගත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිය ගැන පැන නැගෙන මෙම නව ප‍්‍රවනතා සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතුය.