milinda-prashna2

 

01/05/2013 – ලංකාදීපමිලින්ද මොරගොඩ

මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ‍්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි. පාලකයන්ගේ අනේක විධ නීති සහ දැඩි පාලනය ඉවසාගත නොහැකිවූ කම්කරුවෝ වීදි බැස සිය අයිතිය වෙනුවෙන් සටන් කළහ. වැඩකරන පැය ගණන පමණක් නොව ශ‍්‍රමයට හිමි ගරුත්වය ගැන ද පළමුවරට සාකච්ඡාවූ ආකාරය මැයි දිනය සමරමින් අදටත් සිහිපත් කරයි.

යුගයෙන් යුගය වෙනස් වී තිබේ. අයිතීන් දිනා ගැනීම සම්බන්ධව මැයි දිනය දක්වන පණිවුඩය අදට වලංගු කර ගැනීම වැඩකරන ජනතාවගේ අයිතියකි. පාලකයන් පරදවන ‘‘අන්තිම සටනට සැරසියව්’’ යන්න තව දුරටත් සාධාරණ සටන් පාඨයක් නොවේ. මැයි දින පෙළපාලියට එකතු විය යුතු නමුත් සටන ඇත්තේ කොතැනදැයි විමසා බැලීම නූතන තාක්ෂණ යුගයේ වැඩකරන ජනතාව අවබෝධකර ගත යුතු ඉතාම වැදගත් පණිවුඩයයි.

වැඩ බිම වෙනස් වී තිබේ. වැඩකරන ආකාරය ද වෙනස්ය. නූතන වැඩ බිම ජාත්‍යන්තර සහතික වලට අනුකූලය. එහි පරිසරය ආරක්ෂා කිරීමට අදාල ජාත්‍යන්තර විධිවිධාන අනුගමනය කරයි. සේවක සුබසාධනය ගැන විවෘතව දැක බලාගන්නට ඉඩ දෙයි. පරිසරට හා සේවක අයිතිය ගැන නොතකා ක‍්‍රියාකරන නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පවා සූදානම් නැත. පාරිභෝගිකයන් දැනුවත් කරන්නට තොරතුරු තාක්ෂණය ඉදිරියට පැමිණ තිබේ. කාය ශක්තිය තව දුරටත් ඉතාම ප‍්‍රයෝජනවත් නැත. කම්හලේ බර වැඩට යන්ත‍්‍ර සූත‍්‍ර එකතු වී තිබේ. මිනිසුන් දහසක් කරන දෙය සංකීර්ණ මෙවලම් සහිත යන්ත‍්‍රයකින් මෙහෙයවන්නට එක පුද්ගලයෙකුට හැකියාව ඇත. ඵලදායීතාව හා කාර්යක්ෂමතාව සම්බන්ධව නොයෙක් ප‍්‍රතිපත්ති ඉදිරියට පැමිණ ඇත. බොහොමයක් කම්හල් යාන්ත‍්‍රීකරණයවී ඇති අතර ක‍්‍රමයෙන් රොබෝ තාක්ෂණය ද යහමින් ප‍්‍රයෝජනයට ගැනෙයි. කය වෙහෙසා වැඩකරන ශ‍්‍රම බලකාය වෙනුවට බුද්ධියෙන් වැඩ කරන්නට හැකියාව ඇති දැනුම ඇති ශ‍්‍රමයට කම්හලේ දොරටු විවර වෙමින් තිබේ. වැඩිම ශ‍්‍රමිකයන් පිරිසක් යොදවා වැඩි වියදමකින් නිපදවීම වෙනුවට අඩුම ශ‍්‍රම පිරිවැයකින් ඉහළම නිපැයුමක් කරගන්නට හැකිවන ආකාරයට සැපයුම් චක‍්‍රය කළමණාකරනය වී තිබේ.

තාක්ෂණය අද වැඩකරන ජනතාවට ඇති අභියෝගයයි. තාක්ෂණයට මුහු විය නොහැකි ශ‍්‍රමය අනාගතයේ දී ප‍්‍රයෝජනවත් නැති තැනට පත්වන බව පෙනේ. ලෝකයේ වැඩකරන ජනතාවගේ ගමන බාහු බලය ඉක්මවා දැනුම ඇති ශ‍්‍රම බලකායක අවශ්‍යතාව දක්වා පරිවර්තනය වනු ඇත. එය දැන් ක‍්‍රමයෙන් සිදුවෙමින් පවතින බව පැහැදිලිය. ගොවිබිම, කම්හල නවීකරණය වී තිබේ. එතැන ප‍්‍රයෝජනයට ගත යුතු යන්ත‍්‍ර සූත‍්‍ර උපයෝගී කර ගත්තේ නැති නම් නිපදවන දෙයට වැය වන වියදම අධිකය. නිපැයුමට වඩා දියුණුවී ඇත්තේ සේවා ආර්ථිකයයි. අවුරුදු සිය ගණනක් ශ‍්‍රී ලංකාවේ අක්කර දස දහස් ගණනක තේ වගා කරයි. එහි නියැලෙන ශ‍්‍රම බලකාය ලක්ෂ දහයක් පමණ වෙයි. රටට එයින් ලැබෙන්නේ ඇමරිකාුන ඩොලර් බිලියන 1.4 ක් පමණ විනිමය ප‍්‍රමාණයකි. මෙවැනි ඉඩම් සහ ශ‍්‍රම ආයෝජනයකින් ඉපැයිය හැකි ධනයට වඩා ධනයක් උපයන නවීන ව්‍යවසාය ලෝකය පුරා පැතිරෙමින් තිබේ. දැනුම පදනම් කරගත් එම යුගයට ඇතුළුවීම ශ‍්‍රී ලාංකිකයන්ගේ මැයි දිනයේ තේමාව විය යුතුය. අන්තිම සටන ධනපතියන් පැරදවීම නොවේ. පාලකයන් අතුගා දැමීම ද නොවේ. නිසි ආයෝජනයක් මගින් රටට අවශ්‍ය අලූත් සේවා ආර්ථිකය අනාවරණය කර ගැනීමය. දැනුමින් පිරි ශ‍්‍රම බලකායක් ගොඩනගන විප්ලවය වෙනුවෙන් කම්කරු දිනයේ කතිකාව ඇවිලවීම අද අප සියලූ දෙනාගේ වගකීමයි.