Image2013.04.03- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන මත ගැටුම් ඇවිලෙන බවක් පෙනේ. තමිල්නාඩුව එහි බල කේන්ද්‍රයයි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධව කනස්සල්ල පළ කරන තමිල්නාඩුව ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ප‍්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය මහ ආණ්ඩුවට බලපෑම් කරමින් සිටී. තමිල්නාඩුව සහ ඉන්දියානු දේශපාලන නායකයන් දක්වන අදහස් වලට එරෙහිව අප රට තුළ නැගෙන විරෝධය සැලකිය යුතු එකකි. අන්තවාදී ඉන්දීය දේශපාලන අනුගාමිකයන් ඇතිකරන සිද්ධි ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන බව පැහැදිලිව පෙනේ.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සම්බන්ධය ඉතිහාසගත එකකි. එහි හිතවත්කම මෙන්ම සතුරුබව ද, නොඅඩුව ඇත. ආගමික සංස්කෘතික හා ආර්ථික අතින් ශ‍්‍රී ලංකාව ඉන්දියානු ලක්ෂණ වලට ඇති සම්බන්ධය ඉතා සංකීර්ණ බව වටහා ගත යුතුව ඇත. ඈත කාලයේ මෙන් ම මැත කාලයේ ද ඉන්දියානු ආක‍්‍රමණ ගැන සඳහන් වන අතරම බුදු දහම වැනි ලාංකිකයන්ට ඉතා වැදගත් දර්ශනය ද ඉන්දියාවෙන් ලැබුණ දායාදයක් බව සඳහන් කළ යුතුය.

ඉන්දියාවේ මහ ආණ්ඩුවේ බලය ශක්තිමත් නැත. තමිල්නාඩුව වැනි ප‍්‍රාන්ත ආණ්ඩුවක නියෝජනය මධ්‍යම රජයට අවශ්‍යය. තමිල්නාඩු දේශපාලනඥයන් තම ජනපි‍්‍රයතාව උදෙසා නොයෙකුත් මත අවුලවයි. තමිල්නාඩු නියෝජනය වැදගත් සාධකයක් බැවින් පටු අරමුණු ඇති දේශපාලනඥයන් නගන කවර අදහසක් හමුවේ පවා යම් ප‍්‍රමාණයකට අවනත වන්නට ඉන්දීය මහ ආණ්ඩුවට සිදුවී තිබේ. තම බලය හා ජනප‍්‍රියතාව තහවුරු කරගැනීම අරමුණු කරගෙන තමිල්නාඩු දේශපාලනඥයන් ශ‍්‍රී ලංකාව සම්බන්ධව නොයෙක් අර්බුද ඇතිකරන බව නොයෙක්විට සනාථ වන කරුණකි.

දේශපාලනය සංදර්ශනයක ආකාරයක ඇති නමුත් තමිල්නාඩුවේ ආර්ථිකය ඉතා ශක්තිමත්ය. දේශපාලන වේදිකාව සහ ආර්ථික ප‍්‍රතිපත්ති වෙන වෙනම පවත්වාගෙන යන්නට තමිල්නාඩු නායකයන්ට හැකියාව ලැබී ඇත. ඉන්දියාවේ ප‍්‍රාන්ත අතරින් දෙවැනි තැනට වැඩිම ආර්ථික සංවර්ධන වේගයක් දක්වන ප‍්‍රාන්තය තමිල්නාඩුවයි. මෙම වසරේ පවා එහි අය වැය හිගය වෙනුවට අතිරික්තයක් ඇති එකකි. ප‍්‍රාන්තයට ආදායම් උපයා දෙන කර්මාන්ත ව්‍යාපාර විශාල ආකාරයට විහිදී තිබේ. ලෝකයේ ප‍්‍රධාන පෙලේ වාහන නිෂ්පාදකයන් තමිල්නාඩුව තුළ ව්‍යාපාර ආරම්භ කර ඇත. ප‍්‍රාන්ත ආණ්ඩුවේ බලධාරීන් ව්‍යවසාය ඇතිකරන ආකාරයට හා ආර්ථිකය දියුණු කරන අන්දමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කර තිබීම එතැන ඇති  රහසයි.

තමිල්නාඩු දේශපාලනය හමුවේ කෙරෙන වාග් සංග‍්‍රාම ආර්ථිකය පළුදු කරන එකක් විය යුතු නැත. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට, වන්දනා නඩ වලට කරන බලපෑම් වලට ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින්තදබල විරෝධය දක්වන්නට අවශ්‍යය. තමිල්නාඩු ආර්ථිකය සමග සම්බන්ධ විය හැකි නම් ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයට වෙනත් රුකුලක් අනවශ්‍යය. එය එපමණකටම ප‍්‍රබල එකකි. තමිල්නාඩුවට ඇගලූම් යැවිය හැකිනම්, එම ප‍්‍රාන්තයේ මෝටර් රථ කම්හල් වලට අවශ්‍ය එක උපාංගයක් ලංකාවෙන් යැවිය හැකිනම් මෙරට අපනයන ආදායම දෙගුණ තෙගුණකර ගත හැකි ධන ඉල්ලමකි. දේශපාලනඥයන්ට ඔවුන්ගේ මත අවුලවන්නට ඉඩ දී ආර්ථික අතින් ඉන්දියාවේ ප‍්‍රාන්ත මට්ටමින් සම්බන්ධතා ඇතිකරගන්නට වෙහෙසීම වැදගත්ය. තමිල්නාඩුව, කේරළය, අන්ද්‍රා හා කර්නාටක ප‍්‍රාන්ත එහිලා ප‍්‍රයෝජනවත් බව පෙනේ.

දෙවැනි ලෝක යුද්ධයේ පස මිතුරු රටවල් අද සමීප ආර්ථික සම්බන්ධතා පවත්වයි. ජර්මනිය, ජපානය, ප‍්‍රංශය හා රුසියාව අතර කෙරෙන ආර්ථික ගනුදෙනු වල යුද අමනාපකම් පෙන්වන්නේ නැත. පරමානු බෝම්බය හෙලූ ඇමරිකාව ගැන ආර්ථික සම්බන්ධතා හමුවේ ජපානයට මතක නැත. වියට්නාමයට සිදුවූ හානිය සලකන විට අද එහි වැඩිම ආයෝජනයක් කරන්නේ ඇමරිකානු ව්‍යවසායකයන්ය. ජාත්‍යන්තරයේ ස්වභාවය එයයි. අන්ධකාරය මැදින් එහි ඇති රිදී රේඛා දකින්නට මෙරට ව්‍යවසායකයන්ට අයිතියක් තිබේ.