Image2013.03.20-ලංකාදීප-මිලින්ද මොරගොඩ

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් එක්තරා තීරණාත්මක අවස්ථාවක සභාවක පැවතිය හැකි තත්ත්වය ගැන පළ කළ අදහස වැදගත්ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල් වකවානුවේදී කළ මෙම අදහස  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක පැවතිය හැකි ක‍්‍රමවේදයකි.  සභාවක බලය ලබා ගන්නේ අර්ථවාදීව නොව ඝෝෂාවෙන් බව ඔහු ඉදිරිපත් කළ නිර්වචනයකි. එහිලා ප‍්‍රචණ්ඩත්වය මිස පුළුල්ව සිතන දාර්ශනිකත්වය එකතු කරනොගන්නා අතර එයින් දිනන්නේ නූගත්බව මිස දැනුවත් බව නොවේ යැයි ද කියා සිටියේය.

ජෝන් ඇඩම්ස් මහතා මෙම මතය ඉදිරි පත් කළේ එදා පැවති තමන්ගේ දේශපාලන රටාවටය. බුදු දහමින් පෝෂිත රටකට ඇමරිකානු නායකයෙකු ගේ වදන් උපුටා දක්වන්නට සිදුවි ඇත්තේ ඇයි? තමන් වහන්සේ කියන හෙයින් කිසිවක් පිළිනොගන්නා ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කළේය. බුදු වදන පවා කපා කොටා පිරික්සා එහි ඇත්ත අවබෝධ කර ගත යුතු අතර එය කළ යුතු රන් කරුවෙකු රන් කැබැල්ලක් නියම රන් දැයි හඳුනා ගන්නට කරන පරීක්ෂාවක ආකාරයට බව බුදු වදනෙහි දැක්වෙයි. මැද පිළිවෙතින් ජිවිත ජයගන්නා ආකාරය පැහැදිලිව දැක්වෙන දර්ශනය හදාරන්නට උත්සුක නැති වත්මන් සමාජය තුළ බලය අත්පත් කරගන්නේ බුද්ධිමත් බවින් නොව ඝෝෂාවෙන් බව පැහැදිලිව පෙනේ.

බුද්ධිමතුන් නිහඬය. නිහඬ වන්නට සිදුව ඇත්තේ ඇයි? ඝෝෂාකාරීන් මැදට පැන තම මතය අවුලවන්නට තමන්ට ද ඝෝෂා කරන්නට ඇති අකමැත්ත එහි දී ඔවුන් තුළ තිබේ. එකතුවන්න. සන්සුන්ව සාකච්ඡ කරන්න, සන්සුන්ව විසිර යන්නැයි දේශනා කළේ බුදු රජාණන් වහනසේය. එවැනි සන්සුන්, සාවධාන සාකච්ඡවක  දී මැදහත්ව අදහස්  පැන නගී. අලූත් පැති ගැන අවධානය යොමු වෙයි.

අද එවැනි සාකච්ඡ දුලබය. වැඩි වශයෙන් සිදුව ඇත්තේ සුළු දෙනෙකු ගේ ඝෝෂාවට බහුතරයකගේ හඬ යටපත්වීමයි. ගමේ නගරයේ හැම තැනෙකම නැගෙන හඬ  බලය ඇත්තාගේය. උස් හඬින් කරන කතාවට හැබෑ මත යටපත් වෙයි. කෙනෙකු උස් හඬ කින් අදහස් දැක්වීමෙන් පමණක් එම අදහස සියළුම දෙනා එක හෙළා පිළිගැනේ යැයි උපකල්පනය කළ හැකිද? නැත. මෙකළ වැඩි වශයෙන් සිදුවන්නේ එයයි. ඝෝෂාව පැතිරෙයි. බහුතරය නිහඬය. මත නැගෙන්නේ හඬ ඇති සුළු පිරිස අතරින් පමණකි. එය නිහඬ බහුතරයකගේ අදහස නොවේ. බහුතර නිහඬ  ජන කොටස නොසලකා හඬ නැගෙන තැනට පමණක් අවධානය යොමු කිරීම සුදුසුද? ගුප්ත නිහඬ  බව තේරුම් ගැනීම වැදගත්ය. බොහෝ ඝෝෂාකාරී පරිසරයක් තුළ නිහඬවම විශාල පෙරැළියක් සිදුවිය හැකිය.

අප සියලූ දෙනාටම ගරුත්වය හා පූජණීයත්වය සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු යැයි ප‍්‍රකාශ වන්නේ එහෙයින්ය. අධිපතිවාදීන් විය හැකිය. මත ඇති කරන්නටත්, ඇති කරන මත මහා ඝෝෂාවක් සේ රළ නගා පැතිරෙන්නටත් අවස්ථාව ඇත. නමුත් අවබෝධ කරගත යුතු යථාර්ථයක් තිබේ. සමාජය අවදිවෙමින් සිටින්නේ නොදැනුවත් බවින් මිස දැනුවත් බවින් නොවේ. උණුසුම් හා පුළුල් වියයුතු මිනිස් හදවත් හැකිලෙමින් තිබේ. එය විශාල අධ්‍යාත්මික පරිහානියකි. එයින් ඔප්පු කරන්නේ මහා සමාජයක ජීවත්වන බුද්ධිමතුන් නිහඬ මන්දැයි යන කාරණයයි. පවතින සමාජ පිරිහීම නතර කර ගැනීමේ වගකීමක් අපට තිබේ. සාවධානව සිටින බුද්ධිමතුන්ගේ අදහස් වලට සවන් දිය යුතු මොහොත උදා වී ඇත.