ලංකාදීප -2012.11.14 – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ ආර්ථික හැඩතලය වෙනස් ව තිබේ. මෙයින් අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළේ ලිපියකින්ය. ලිපි හුවමාරුවේ පමාව හමුවේ ගැනුම්කරුවන්ගෙන් ඉල්ලූම ලැබෙන විට මෙරට සැපයුම්කරුවන්  අසරණ වී හමාරය. තොරතුරු තාක්ෂණය එහි පෙරුළියක් කළේය. මොහොතකින් නිෂ්පාදකයා අතරමැදියා හා ගැනුම්කරු සම්බන්ධවෙයි. තොරතුරු තාක්ෂණයේ දියුණුව එකී පරිවර්තනයට දායක වී තිබේ. එහි ප‍්‍රයෝජනයෙන් පාරිභෝගිකයාගේ සිතැගි පරිදි නිෂ්පාදනය වැඩිදියුණු කරන්නට ද හැකිය. වර්තමානයෙහි දුර බැහැර සිට නගරයට මාර්ග පහසුකම් වැඩි දියුණුය. තව නොබෝ කලකින් රට පුරා අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම අවසන් වනු ඇත. වරාය පුළුල්ය. අලූතින් පහසුකම් සැපයී ඇති අතර ප‍්‍රකට නැව් සමාගම් දිවයිනට පැමිණෙයි. ගුවන් තොටුපොල පහසුකම් වැඩි දියුණු වී තිබේ. ලෝකයේ ප‍්‍රධාන නගර ගුවනින් සම්බන්ධ වී ඇත.

නිෂ්පාදකයාට හෝ වෙළඳ පොළට ගැලපෙන පරිදි මෙලෙස යටිතල පහසුකම් සංවර්ධනය වීම රටක අවශ්‍යතාවයකි. දියුණු රටක තරමට නැතත් මැදි ආර්ථිකයක් ඇති ශ‍්‍රී ලංකාවට මෙය වටිනා වත්කමකි. අවුරුදු ගණනකට කලින් පැවති දුෂ්කර සමය සමග සසඳන විට කැපී පෙනෙන වෙනසකි. මෙම යටිතල පහසුකම් වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් කරන ලද ධන ආයෝජනය විශාල එකකි. ව්‍යාපෘති වෙනුවෙන් ගත් ආධාර එහි ඵල ප‍්‍රයෝජන ලබමින් ආපසු ගෙවන්නට ද රටට සිදුවෙයි. එය අමතක කළ යුතු නැත.

මෙවැනි පසුබිමක් තුළ යටිතල පහසුකම් ඇතිකිරීම පමණක් නොව, නිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීම ගැන ද අවධානය යොමු කිරීම වටී. ලෝකයේ නන් තැන් වල දකින්නට ඇති ආකාරයට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නොයෙක් ව්‍යාපාර මෙරට තුළ ද බිහිවිය යුතුය. වරාය අවට, ගුවන් තොටුපොල ට නුදුරෙන් සහ අධිවේගී මාර්ගය අවටින් අලූත් ගොවිපොල හා කර්මාන්ත බිහිවිය යුතුය. එය කළ හැකි දුර දකින නුවනක් ඇති අලූත් ව්‍යවසායකත්වයටය. එදිනෙදා සිදුවන දේ දැක අලූතින් යමක් නිර්මාණය කරන ව්‍යවසායකයෝ රට තුළ බිහි විය යුතුය. මෙවර අය වැය මගින් ද අපනයනයට හා නිෂ්පාදනයට දිරි දෙන ආකාරය ඉගි කර තිබේ. බදු සහන හා ඉඩම් දෙන බව දක්වා ඇත. අවස්ථා පාදා ගෙන, ගත යුතු මග මැනවින් අවබෝධ කරගත යුතු තරුණ ව්‍යවසායකයන්ය.

නමුත්, අද රට තුළ ඇත්තේ රටින් පිටට පැන දියුණු රටක වැඩ කර යමක් උපයා ගැනීමට ඇති ආකල්පයයි. වෙනත් රටක ඇති ඩොලර් හා රන් පවුම් ගැන සිහින දකින තරුණ පෙළ මෙරටදී කරන්නට හැකි යමක් ගැන දකින්නේ  නැත්තේ ඇයි? එය ප‍්‍රශ්න කළ යුතුය. සුළු ව්‍යාපාරයකින් පටන්ගත් යමක් අද දෙස් විදෙස් පතල කීර්ති නාමයක් ඇති සමාගම් බවට පත්ව ඇති බව වර්තමානයේ පෙනේ. අමුද්‍රව්‍ය ආනයනය, පණිවුඩ හුවමාරුව, විදේශ විනිමය සොයා ගැනීම හා ඉක්මනින් වෙළඳ පොළට යැවීම එම සාර්ථක ව්‍යාපාරිකයන්ට, එදවස තිබුණ මහා අභියෝගයන්ය. ජාත්‍යන්තර වෙළඳාමේ දී හෝ දේශීය වෙළඳ පොළ ගැන හෝ ඔවුන්ට මග පෙන්වා අත දෙන්නට පුද්ගලයන් හෝ ආයතන තිබුණේ නැත. අද පහසුකම් පමණක් නොව ව්‍යවසායකයන්ට දැනුම හා පුහුණුව දෙන අතර එයට රට තුළ අවස්ථා හිග නම් විදේශ දැනුම මෙරට දී පරිගණකයක් භාවිතා කර මෙහොතකින් උපයා ගත හැකි තරමට පහසුවක් ඇත. එවැනි පසුබිමක රටට දියුණුව ඇති කරන අලූත් ව්‍යවසායකයන් තම තමන් සතු කුසලතාවයේ තරම අනුව තැනින් තැනින් අලූත් දේ පටන් ගන්නට අවශ්‍යය. නැගෙන යටිතල පහසුකම් වැඩදායක බව දැනෙන්නේ එවිටය.