2012.10.03- ලංකාදීප- මිලින්ද මොරගොඩ

මෙරට පොදු ජනතාවට ඇති තරම් ප‍්‍රශ්න තිබේ. පාසලට දරුවෙකු ඇතුලත් කර ගැනීමේ සිට ජීවිතයේ අවසාන මොහොත දක්වා අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි. ජීවිතය ජය ගන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමෙන්ය. හැම අතින්ම සාර්ථක පුද්ගලයෝ වීරත්වයට පත්වෙති. සාර්ථක චරිත ඇසුරු කරන රුචියක් පොදු ජනතාවට ඇත. චිත‍්‍රපටියෙන් ජන වීරයෝ නිර්මාණය කළේය. අයුක්තියට එරෙහිවන කතා නායකයාට ගැලරියෙන් ලැබුණේ විසිල්ය. සිනමාව නිවසේ ආලින්දයට පැමිණ තිබේ. රූපවාහිනිය දිනපතාම කොටස් වශයෙන් කතාන්දර ඉදිරිපත් කරයි. ජීවිතයේ අප‍්‍රමාණ ප‍්‍රශ්න වලින් දුක වි ඳීන පොදු ජනතාවට මෙම ටෙලි නාට්‍ය සපයන්නේ ද දුක, වේදනාව සහ ක ඳුළ පමණක් බව පෙනේ. රස වින්දනයෙන් එක පැත්තකට පමණක් සීමාවී ඇත්තේ ඇයි?

රටක පැවැත්මට පරමාදර්ශී චරිත අවශ්‍යය. සැබෑ ජීවිතයේ නායකයෙකුගෙන් අපේක්ෂා කරන්නේ යුක්තිය සහ සාධාරණත්වයයි. නායකයින් ගේ  වීරත්වය චරිත සංවර්ධනයට සැලකිල්ලට ගැනේ. සුළු සිදුවීමකින් නායකයන් ගේ ප‍්‍රතිරූප විනාශ වෙයි. එතරමටම ජනතාවට සමීපය. යථාර්ථය එයයි. සාමාන්‍ය පැවැත්ම දෙස බලන විට ශ‍්‍රී ලංකාවේ පරමාදර්ශී වීර චරිත දුලබය. මෙරට වර්තමාන රටාව අනුව සාධාරණ චරිතය විකාශය සංකීර්ණය. රූපවාහිනී ටෙලි නාට්‍යයෙක ගොඩනගන චරිතයකින් හිස් තැන පිරවිය හැකිය. රටට ගැලපෙන පරමාදර්ශී වීර චරිතයක් ගොඩ නගා සමාජ අපේක්ෂා ඉටු කිරීම නිර්මාණශීලීන්ගේ යුතුකමකි. රටක් නගන්නට පදනම සකස්වන අධ්‍යාත්මයක් බිහි කරන්නට යහපත් නිර්මාණයකට හැකියාව තිබේ.

මෙරට ටෙලි නාට්‍ය කලාවට අනුව බහුලව දකින්නේ නුගුණ පමණකි. ත‍්‍රාස ජනක ලෙස යුක්තිය හඹා යනු වෙනුවට, මත් පැනට ලොල් ව, දුෂිතව හැසිරෙන ආකාරය පෙන්වයි. චරිත ඉදිරිපත් කරන්නේ නීතිය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ගෞරවයක් ලෙස දක්වමින් නොවේ. අන්තර් ජාතිකව පැතිර ගිය ජනප‍්‍රිය රූපවාහිනී හා සිනමා චරිත ගවේශනය කළ හැකිය. එහිදී සමාජයෙන් ඉගෙන ගන්නට නැති පාඩම ගෙදර ආලින්දයට එන චරිතය උගන්වයි. එයින් බලාපොරොත්තු වැඬේ. අපේක්ෂා දැල්වෙයි. අසාධාරණයට එරෙහිවීමෙන් යුක්තිය දිනාගත හැකි අතර ධනයට, බලයට එය යටපත් කළ නොහැකි බලවේගයක් බව තහවුරු කරයි. එයින් සකස්වන දරුවන්ගේ මනස රටක අනාගතය කෙරෙහි ඇතිකරන්නේ විශාල වෙනසක් බව තේරුම් ගැනීම වටී.

රටක සංවර්ධනයට සමාන්තරව චරිත සංවර්ධනයක් විය යුතුය. එයට බලපාන්නේ අහන දකින එදිනෙදා සිදුවීම්ය. සන්නිවේදනය දියුණු වීමෙන් කනස්සල්ල සහ ප‍්‍රචණ්ඩත්වය දක්වන තොරතුරු දිනපතා පැතිරෙයි. එයම යළිත් ප‍්‍රතිනිර්මාණය කිරීම රස වින්දනය සැපයීම නොවේ.

ලෝකය යහපත්ය යන පණිවිඩය නිකුත් කළ යුතුය. යුක්තිය ජය ගනී යන ඇඟවීම වැදගත්ය. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම විරත්වයක් බව අප ඇති කළ යුතු බලාපොරොත්තුවකි. වීරයක් සදාකාලික වන අතර සමාජයේ පරමාදර්ශී චරිත බවට ප‍්‍රතිනිර්මාණය කිරීම අවශ්‍යය. සමාජ සංවර්ධනය විනා පරිහානියට ඉඩදීමෙන් ප‍්‍රයෝජනයක් නැත.