2012.08.22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

නිදහස් දිනය රටක වැදගත්ම අවස්ථා අතරින් එකකි. ඉන්දියානු නිදහසේ හැට හය වැනි සමරු දිනය හමුවේ විශෙෂ දේශනය කළ එරට අගමැති මන් මෝහන් සිං මහතා පළ කළ අදහස් අතර ආර්ථිකය ගැන කළ සඳහන වටිනා එකකි. ආර්ථික දියුණුව ජාතික ආරක්ෂාව තරමට ම වැදගත් එකක් බව එතුමා කියා සිටියේය. ප‍්‍රතිසංස්කරණ ගැන අල්ප අවධානය, සංවර්ධන වේගය අඩාල කරන්නට හේතු වී ඇති අතර ප‍්‍රතිපත්ති සම්පාදනය බෙල හීන වී ඇති බව කියා තිබේ.

අන්තර් ජාතිකව කෙබඳු පරිසරයක් පැවතිය ද රට අභ්‍යන්තරයේ ආර්ථික ගැටලූ ඇති කරන්නට හේතු වී ඇත්තේ දේශපාලනය එයට දක්වන අඩු අවධානය බව ද අගමැතිවරයා කියයි. සංවර්ධනය නිසි ආකාරයට නොවන අවස්ථාවක අලූත් ආයෝජන ඇති නොවේ. රජයේ මූල්‍ය කලමණාකරනයෙහි ප‍්‍රශ්න ඇතිවෙයි. පොදු ජනතාවගේ ජීවන අවශ්‍යතා පිරිහෙයි. එවිට ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නට සිදුවිය හැකි බව එතුමා ඉඟි කරයි. ලෝක බලවතුන් අතර ඉන්දියානු ප‍්‍රතිරූපය බලවත් එකකි. දුගී දුප්පත් තැනෙක සිට සංවර්ධනයෙන් ඉහළට නැගෙන්නට ඉන්දියාවට ශක්තියක් වූයේ ආර්ථිකයෙහි කළ ප‍්‍රතිසංස්කරණයන්ය. අගමැති ධුරයට පත්වන්නට කලින් මුදල් ඇමති ධුරය හෙබවූ වකවානුවෙහි සිට මන් මෝහන් සිං මහතා ආර්ථිකය නිසි මගට අවතීර්ණ කිරීමට තැත් දැරූ වග ප‍්‍රකටය.

ශ‍්‍රී ලංකාව ට ද මෙයින් යමක් ඉගෙන ගන්නට හැකිය. ත‍්‍රස්තවාදය පරාජය කළේ වසර තුනකට කලින්ය. එ සමයෙහි ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් සාධකයකි. පක්ෂ බේධයෙකින් තොරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනයට දේශපාලනය යුහුසුළු විය. එතැන තිබුණේ එකඟතාවයකි. ගැටුම් අවසන් කිරීම සමග අවධානය අලූත් පැත්තකට යොමු විය යුතුය. පොදු ජනතාව එහි පළමු සාධකයයි. ජාතික ආරක්ෂාව තරමට ම ජන ජීවිතය නංවන සැලසුම ද ප‍්‍රතිසංවිධානය වී ක‍්‍රියාවට නැගෙන මග සැකසිය යුතුය. එය මහජන නියෝජිතයන්ගේ වගකීමකි.

සංග‍්‍රාම භූමියේ දී ප‍්‍රමාදය ට ඉඩක් නොතිබිණ. තීරණ ගැනීම ප‍්‍රමාද වන විට වන්දි ගෙවන්නට සිදු වූයේ ජීවිතයෙන්ය. සංවර්ධනයේ දී ද, අවශ්‍ය තැන සෘජු සහ තද තීන්දු ගැනීම වැදගත්ය. දේශපාලන අභියෝග හෙයින් කල් ගන්නාවිට දිගු කාලීන ප‍්‍රශ්න ඇති කරයි. තීරණයකට බාධා කරන නොයෙකුත් වාද විවාදය. පක්ෂ විපක්ෂ වශයෙන් බෙදෙයි. දුෂණ වංචා ගැන මහත් ඝෝෂා නැගෙයි. දුෂණ චෝදනා එල්ලවීම නිවැරදි තීරණ ගැනීමට බලවත් බාධාවකි. තීරණ පහක් ගන්නාවිට එකක් වරදින්නට ඉඩ තිබේ. නිවැරදි හතර දෙස හා එයින් රටට සිදුවන යහපත විනා එකකින් වන හානිය මහත් සේ සැලකීම වරදකි. නිලධාරීන්ට තීරණ ගන්නට එවැනි පහසුව ඇතිකරන ලෙස යම් යම් කල් පැනගිය නීති වෙනස්කළ හැකිය. එවැනි ප‍්‍රතිපත්ති තීරණයකට පවා විශාල ධෛර්යයක් අවශ්‍යය. ආණ්ඩුවක ධෛර්යය සිය අනුගාමිකයන්ගේ ඡන්ද පදනමට සීමා වෙයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොපැකිලව අභීත තීන්දු ගන්නට සමත්වන ආණ්ඩු ආර්ථික ප‍්‍රතිපත්ති හමුවේ ගුප්ත ස්වභාවයකට පත්වීම අවශ්‍ය නැත. තීරණයක් රහිත බව දියුණුවට අවහිරයකි. අවසාන ප‍්‍රතිපලය ජන ජීවිතය අසරණ කරයි.

රට දියුණු කරන්නට වෙනස්කම් අවශ්‍යය. හැම දා එක ම ලෙස පැවති දේ වෙනස් කරන්නට හැකි මග සොයා නිසි නිර්දේශ කළ යුතු විද්වතුන්ය. මහජනතාවට යහපත සිදුවන ආකාරයට ප‍්‍රතිපත්ති යෝජනා කළ යුතු ඔවුහුය. මහජන නියෝජිතයන් ගේ වගකීම තීන්දු ගැනීමයි. එයින් ආයෝජන ඇතිවෙයි. ආර්ථික වේගය වැඩිවෙයි. ජනතාවට රැකී රක්ෂා සහ ආදායම් මාර්ග බහුල වෙයි. සැනසිල්ල උදාවෙයි.