30/05/2012 – ඉරිදා ලංකාදීප- මිලින්ද මොරගොඩ

අප‍්‍රිකාව අදුරු මහද්වීපය යනුවෙන් ද හැදින්වෙයි. දැන් අවස්ථාව ඇත්තේ අප‍්‍රිකාවට බව ජාත්‍යන්තර මතයයි. කෙන්යාව මහද්වීපය තුළ අන්ධකාරයේ පසුවූ රටවල් අතරින් එකකි. අන්ධකාරය පහව අරුණාලෝකය එරටට උදාවෙමින් තිබේ. තොරතුරු තාක්ෂණ යුගයේ පෙරැළිකරුවෙකු වී ඇත්තේ කෙන්යාවයි.

කෙන්යාවේ ජංගම දුරකථන භාවිතය සීඝ‍්‍ර ලෙස වැඩි වී තිබේ. දුරකථනය පණිවුඩ හුවමාරු කරගන්නා මෙවලමක් පමණක් නොවේ. මෙයින් අවුරුදු හතකට කලින් ජංගම දුරකථන භාවිතා කරන පිරිස කෙන්යාව තුළ සිටියේ 15,000 ක් පමණකි. දැන් එය මිලියන 17 ක් දක්වා වේගවත්ව එරට වැසියන්ගේ භාවිතයට එකතු වී ඇත. එයින් හතරෙන් එකක් පමණ ජංගම දුරකථනයෙන් ස්වකීය මිලදී ගැනීම් කරයි. අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ ගනුදෙනු සිදුකෙරෙන්නේ ජංගම දුරකථනය හරහා බව තොරතුරු වාර්තා දක්වයි. බටහිර රටවල් ජංගම දුරකථන වලින් ගනුදෙනු පියවන්නට හුරුවීමේ වේගය අභිබවන මෙම දියුණුව විස්මිතය.

ජංගම දුරකථනය තොරතුරු කතාකිරීම, කෙටි පණිවිඩ යැවීම, වෙබ් පරිහරණය, ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ අඩවි සමග සම්බන්ධවීම පමණක් නොව තම බැංකු ගිණුම් ඔස්සේ මුදල් ගනුදෙනු වලට ද අවස්ථාව සපයයි. කෙන්යානුවෝ එයට හුරු වී ඇත.  වෙනස්වන සමාජය අනුව තාක්ෂණයේ දියුණුව ගැලපෙන පරිදි ජීවිතයට එකතු කරගැනීම වටිනා තීරණයකි. ජංගම දුරකථනය සමග කෙන්යාවේ සිට ලෝකයේ  ඕනෑම තැනක් හා සම්බන්ධවන්නට අවකාශ ලැබීම වර්තමාන යුගයේ වටිනාම අවස්ථාවයි.

කෙන්යාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1960 ගණන් වලය. ශ‍්‍රී ලංකාව ද ස්වභාවික සම්පතින් අඩුවක් නැති බුද්ධිමත් ජනතාවක් ජීවත්වන රටකි. සාක්ෂරතාවය ඉහළය. දැනුම හා එය භාවිතය සම්බන්ධයෙන් ද දොසක් කියන්නට ඉඩ නැත. නමුත් තවමත් අලූත් අවස්ථා උපයෝගී කරගැනීමට බලවත් උනන්දුවක් නැත. රටේ ජනගහනය අතර ආදායම් විෂමතා ඇතත් ජංගම දුරකථනයක් භාවිතා නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම පහසු නැත. එනමුත් එම දුරකථනයේ ප‍්‍රාථමික අවධියෙන් ඔබ්බට ප‍්‍රයෝජන ගැනීමට දරන උත්සාහ සීමිතය. එයට ගෙවන්නට සිදුවන වියදම වැඩියැයි කල්පනා කරනවා විය හැකිය. අනෙක් අතට විශ්වාසය තහවුරු වී නැත. යාන්ත‍්‍රිකව කරන ගනුදෙනුවක දී අවාසි සිදුවන අතර රැවටිල්ලකට ගොදුරු විය හැකි යැයි ඇතැමෙකු සිතන බව පෙනේ. ජංගම දුරකථනයෙන් අන්තර් ජාලයට සම්බන්ධ වී කටයුතු කිරීම කාලය ඉතිරි කරන සහ වියදම් අඩු කරන මගක් බව සිතන්නට පටන් ගෙන නැත. මෙරට නොයෙකුත් සමාගම් ජංගම දුරකථනයෙන් හෝ වෙබ් අඩවි මගින් භාණ්ඩ හා සේවා විකුණන්නට සූදානම්ය. එයට එකග පාරිභෝගික පිරිස තාක්ෂණය භාවිතා කරන්නට දැනුම ඇති පිරිස අතරින් ඉතා ස්වල්පයකි. අතරමැදියන් හා වෙළද උපක‍්‍රම වලට ගොදුරුවෙමින් තවමත් සම්ප‍්‍රදායික භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙහි නිරත ශ‍්‍රී ලාංකිකයන්ට කෙන්යානුවන් ගේ අත්දැකීම් බෙදා ගැනීමට උත්සාහ කිරීම වරදක් නොවේ.