09.05.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වෙසක් මාසය බොදුනුවන්ට අගනේය. විමුක්ති නායකයානන්ගේ උපත,  බුදුවීම හා පිරිනිවන සමරන හෙයින්ය. බුදු රජාණන්වහන්සේ මැද මාවත දැක්වූහ, සදාකාලික දර්ශනය පෙන්වා දුන්  අතර ජන ජීවිතය උපේක්ෂා සහගත කළහ. මැයි මාසය උදා වන විට වෙසක් සඳ නැගෙන්නට කලින් වැඩ කරන ජනතාව ස්වකීය මැයි දිනය සැමරූහ. කම්හලේ, වැඩබිමේ වෙහෙසෙන ඔවුහු ඉල්ලා සිටියේ ද විමුක්තියයි.

 

අසම සම විමුක්ති නායකයාණන් ගේ බුද්ධ දර්ශනයට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතු මෙරට වැඩකරන ජනතාව ස්වකීය දේශපාලන පක්ෂ නායකයන් ගේ සැලසුම අනුව මැයි දිනය සැමරූහ. ලෝකවාසීහු තමන්ට බලපාන විශේෂ අවස්ථා නිශ්චිත දින වල අවධාරණයෙන් සාකච්ඡුා කරති. වෙන්වූ දවස තුළ එදිනට වැදගත් වන කරුණ අලලා නොයෙකුත් පැති වලින් අලූත් ආකල්ප ඇති කෙරෙයි. ජනමත ගොඩනගයි. මැයි දිනය ද එවැනි විය යුතුය. ගෙවුණ මැයි දිනය ද පසුගිය කල්හි මෙන්ම පුරුදු උද්යෝගයෙන් අවසන්විය. දේශපාලන පක්ෂ එය සංවිධානය කළේය. වැඩ කරන ජනතාව ගැන ඉහළින් වර්ණනා වූ අතර දේශපාලනඥයන්ගේ දෙසුම් අසා වැඩකරන ජනතාව ආපසු නිවෙස් බලා ගියහ.

 

මැයි දිනය සමරන්නට වැඩකරන ජනතාව ගෙන් වැඩි දෙනෙකු සූදානම් වූයේ උදෑසනින්ය. දේශපාලන පක්ෂ ගමනා ගමන පහසුකම් සපයන ලද අතර සංවිධායකයෝ ආහාර ද සැපයූහ. ධජ, පතාක, බැනර් සහ සටන්පාඨ සැපයුනේ ද පක්ෂයෙන්ය. පෙලපාලියෙන් ගිය වැඩකරන ජනතාව වේදිකාව වෙත පැමිණෙන විට වැඩකරන දිනයකට වඩා මහන්සියෙන්ය. දේශපාලන උණුසුමෙන් දිරිය සැපයුණේය. හැන්දෑවේ ගම් දනවු බලා යන අතරමග නොයෙක් තැන් හි දහවල් සිද්ධි සමාලෝචනය වෙනු පෙණන. එතැන අඩුවක් නැතිව තිබුණේ මතය. මත වැඩි වන විට දොස් පරොස් නැගෙයි. මෙදා නැති නමුදු එදා මැයි දිනය සමරා ආපසු යන අතර අනුගාමිකයෝ ගැටෙති. ලේ පෙරාගෙන, බස් කුඩු කරගෙන ගැටුණේ එකම පංතියේ පිරිසය. අද එහෙමම නැතත් වැඩකරන ජනතාවගේ විමුක්තිය දේශපාලනය තුළින් දිනාගන්නට සූදානම් වන සම්ප‍්‍රදායෙන් සම්පූර්ණයෙන් ම මිදී නැත.

 

ලෝකයේ මුහුණුවර වෙනස් වී තිබේ. ශ‍්‍රමය හා වැඩකරන ජනතාව සම්බන්ධ ආකල්ප පර්වර්තනයකට ලක්ව ඇත. තාක්ෂණික යුගයකි. නීති රීති හා ශ‍්‍රම අයිතිය වෙනුවට ආයතනයක වැඩකිරීම තුළින් එහි ප‍්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ස්වභාවය වෙනස්ය. දැන් මැයි දිනයට හාම්පුතුන් හා කම්කරුවන් අතර ගැටුම සංකේතයක් නොවේ. එය අයිති අතීතයටය. ගෝලීයකරණ සමාජයක තමන් සිටිය යුතු තැන ගැන අවබෝධය ඇති කරගන්නට ඉඩ නොදී දේශපාලන කඳවුරකට කොටුවීමෙන් වැඩකරන ජනතාව යළිත් වහල් වී ඇත. වහල් වී ඇත්තේ පවතින ක‍්‍රමයටය. එය පවත්වාගෙන යන දේශපාලන යාන්ත‍්‍රණයටය. එය විමුක්තියට මග නම් නොවේ. නිදහස්ව, නිවහල්ව සිතන, අනුගාමිකයෙකු නොවී තීන්දු ගන්නා මහජන බලය ඇති පුරවැසියෙකුවීම රටට වැඩදායකය. අන්තවාදී නොවන, මධ්‍යස්ථ අදහස් ඇති, පුරවැසියෙකු දේශපාලන ක‍්‍රමයට හා සමාජයට අවශ්‍යය. මැයි දිනය රටට බුද්ධිමත් වැඩකරන ජනතාවක් තනන දිනයකට පදනම සැකසුවහොත් පවතින දේශපාලන රාමුවේ පරිවර්තනයකට එය ප‍්‍රමාණවත්ය. විමුක්තියේ අරුත නම් එයයි.