2021/02/17 -ලංකාදීප

වානිජ කෘෂිකර්මය කාලානුරූපව වෙනස් කළ යුතුය. පර්යේෂණ අංශ සහ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ලංකාව යටත් කරගත්තේ ලෝකයේ හොදම කුරුදු පොල සතු කරගැනීමට බව අමතක කළ යුතු නැත. පසුව අධිරාජ්‍යවාදීහු පළමුවෙන් කෝපි වගා කළ අතර පසුව තේ හා රබර් වගා කළහ. බි‍්‍රතාන්‍ය වතු සමාගම් තවමත් නිරතව සිටියේ නම් තේ හෝ රබර් වගා කරන්නට ඉඩ තිබේ දැයි කල්පනා කිරීම උචිතය.

ලෝකයේ විශාලතම තේ නිෂ්පාදකයා වන කෙන්යාව අලිගැටපේර වගා කරන්නට නැඹුරුවෙමින් සිටී. තේ සහ කෝපි වගාවට වැඩි ඉඩක් වෙන් කරන ලද නමුත් කාලගුණ වෙනස්කම් හා වැඩි ආදායම සලකා කුඩා ඉඩම් හිමියන් අලිගැටපේර වගාවට යොමු කරන බව අනාවරණය වෙයි.

පළමු තේ වගාව ලංකාවේ අරඹන්නේ 1824 දී බව ඉතිහාසය දක්වයි. දශක අටකට පසු ලෝකයේ විශාලතම තේ අපනයනකරු බවට පත්ව තිබේ. එයින් වසර හැටකට පමණ පසු තේ වගා කරන්නට පටන් ගත් කෙන්යාව 2018 දී ලෝකයේ විශාලතම තේ නිෂ්පාදකයා බවට පත්ව සිටී. ශ‍්‍රී ලංකාව හතර වැනි තැනට පත්ව ඇති අතර වතු සමාගම් දක්වන අන්දමටට තේ වගාව ලාභදායක නැත. ශ‍්‍රමිකයෝ වැටුප ප‍්‍රමාණවත් නැති බව දක්වති. තේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. රබර් හා තේ අලූතින් වගාකිරීම සීමාවෙමින් පවතින බව ද නිරීක්ෂණය කළ හැකිය. කුඩා තේ වතු හිමියෝ  යම් ප‍්‍රමාණයක සාර්ථකත්වයක වන අතර එයට හේතුව පවුලේ ශ‍්‍රමය වැඩිවශයෙන් භාවිතා කිරීමය. යෙදවුම් හා සාපේක්ෂව වැඩි ආදායම් ඉපැයිය හැකි ෆාම් ඔයිල් වගා කරන්නට ලෝකයේ සමහර රටවල් යොමු  වී සිටී. මැලේසියාව එයින් ප‍්‍රධානය. ශ‍්‍රී ලංකාවේ වතු  සමාගම් වැඩි ලාභ සදහා ෆාම් ඔයිල් වගා කළ නමුත් පරිසර ප‍්‍රශ්න ඇතිවීම සම්බන්ධ විරෝධය සලකා වගාව අතහිටුවන්නට දැනට තීරණය කර තිබේ.

කෙන්යාවේ සාමාන්‍ය ගොවියෝ අලිගැටපේර වගා කිරීම අරඹා ඇති බව ප‍්‍රකාශ වෙන්නේ මෙකී පසුබිම තුළය. වෙනස්වන දේශගුණ තත්ත්ව තේ හා කෝපි වගාවට බාධාවක්  බව කෙන්යානු අත්දැකීමකි. අධික ශීතල සහ දීර්ඝ නියග අස්වැන්න දුර්වල කරන්නට බලපා ඇත. අලිගැටපේර වගාව බාධා අඩු බව දැක්වෙයි. හොද ඉල්ලූමක් තිබේ. යටි වගාවක් සේ වෙනත් භෝගයකට ද අවස්ථාව ඇති බව කෙන්යානු වාර්තා දක්වන තවත් කරුණකි. පසුගිය අවුරුද්දේ දී අපනයන කරන අලිගැටපේර ප‍්‍රමාණයෙහි වර්ධනයක් දක්වන අතර නිෂ්පාදනයෙන් සියයට අසූ පමණ කුඩා ඉඩම් හිමි ගොවියන් ගේ අස්වැන්න බව ප‍්‍රකාශවෙයි.

ශ‍්‍රී ලංකාව කෘෂි අපනයන බෝග සම්බන්ධයෙන් අනන්‍යතාවයක් සොයා ගත යුතුය. අධිරාජ්‍යවාදීහු පවරන ලද වගාව අදට ගැලපෙන්නේ නැත. මෙරට මහ පොලව සාරවත්ය. කාලගුණය වගා කටයුතු වලට බරපතල බාධාවක් නොවේ. නවීන තාක්ෂණික වගා ක‍්‍රම සහ ජල බිංදු තාක්ෂණය වැනි ක‍්‍රම සමග දේශීය කෘෂිකර්මයෙහි පරිවර්තනයක් කළ හැකිය. මෙම කාලවකවානුව කෘෂිකර්මයෙහි අලූත් පරිච්ඡේදයකට ගලපා ගත හැකිය. ආනයන සීමා කර ඇති අතර ගොවියන්ට සහන දෙන්නට රජය අලූත් යෝජනා ක‍්‍රම අරඹා තිබේ. ධෛර්යයක් ඇති තරුණ පරපුරට අලූතින් හිතන්නට අවස්ථාවකි. එහෙත් ඉඩම් ගැටළුව තිබේ. වගා කළ හැකි බිම් වලින් සෑහෙන කොටසක් රජය සතු බව සදහන් කළ යුතුය. ඉඩම් අයිතිය සම්බන්ධ ගැටළු නිරාකරණය කළ යුතුය. රජයට අයත් බෙදා දී ඇති ඉඩම්වල පවා නොයෙක් සංකීර්ණ ගැටළු පවතින බව සදහන් කළ යුතුය. නිසි අයිතිය රහිත ඉඩම්වල වගා කටයුතු වලට බැංකු ණය ගැනීමේ දී පවා අපහසුතා ඇති වෙයි. එය ගොවිතැනෙහි නිරත සුළු ගොවියන් ජීවිත කාලයම පීඩා විදින ණය චක‍්‍රයක හිරකිරීමට හේතුවකි.

රට පුරා විවිධ ප‍්‍රදේශවල, එම පැති වලට ආවේනික එලවලූ හා පලතුරු බහුලව වගා කරන අතීතයක්  තිබුණි. අද බහුලව කරන්නේ ආනයනයයි. වගාවට අවශ්‍ය බීජ පවා වෙනත් රටවලින් ආනයනය කරන්නට සිදුවී ඇත. ශ‍්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන, පරිසරයය ආරක්ෂා කරන අතර ගොවියන්ට ඉහළ ආදායමක් ලබා දෙන වගා රටාවක් කෙරෙහි නැඹුරුවක් ඇති කිරීම අවශ්‍යය ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තනය ගැන අවධානය යොමු කර රටට ගැලපෙන වගා තෝරා ගැනීම සුදුසුය.