milinda-prashna

2019/09/18 – ලංකාදීප

ලැජ්ජාව හා බිය නැති සමාජයක් තුළ තවත් යමක් ඉතිරිවී තිබෙන්නට පුලූවන්කමක් නැත. අද වන විට ශ‍්‍රී ලංකාව ලජ්ජාව නැති සමාජයක් බවට පත්ව තිබේ. සුළුතරයකගේ කි‍්‍රයාකාරකම් සමස්ථ සමාජයටම අවමානයක් වී ඇත. රට තුළ සිදුවන සිද්ධි කිසිසේත් ශී‍්‍ර ලංකාවේ අභිමානයට හේතුවක් නොවේ. දෙතැනක සිදුවූ සිද්ධි දෙකක් අදුරු කැළලක් රටට  ඉතිරි කරන ලද බව සදහන් කළ යුතුය.

සාමනේර දෙනමකට ගිහියෙකු කරන හිරිහැර නොබෝදා සමාජ මාධ්‍ය ජාලා වලින් වාර්තා වූ සිද්ධියකි. රණ ශූරයෙක්, සර්පයෙක්, ගින්නක් හෝ භික්ෂුවක ඉතා කුඩා යැයි නොසලකා සිටිය යුතු නැති බව බුදුරජාණන් වහන්සේ පසේනදී රජු විමසන ලද කාරණයකට පිළිතුරු වශයෙන් දේශනා කර තිබේ. බහුතරයක් බොදුනුවන් වන, නිතර දෙවේලේ බුදු බණ ඇසෙන රටක ජීවත්වන පුද්ගලයෙකු සුළු සිද්ධියක් හේතු කරගෙන සාමනේර දෙනමකට හිරිහැර කරන්නේ ඉතා අමානුෂික අන්දමටය. අනෙක කලූතර බෝධිය අසල සිද්ධියකි. මෙරට පැවැති උත්සවයකට පැමිණි බෝරා සාමාජිකයන් අතරින් කිහිපදෙනෙකු හිස් ආවරණ පැළද ගැවසීම ගැන කිසිවෙකු තද වචන වලින් අවවාද කරන ආකාරයක් දිස්වෙයි. වෙනත් රටකින් පැමිණි, මෙරට සංස්කෘතික හා ආගමික වත් පිලිවෙත් නොදන්නා පිරිසකට එය පෙන්වා දී ම නරක නැත. නමුත් ජාතිවාදී අදහස් මුසු කිරීම සුදුසු නැත. සමාජ මාධ්‍ය නොතිබුණා නම් මෙම සිද්ධි අප අවට පමණක් ඇති වී අමතක වී යන කරුණුය. එහෙත් ජංගම දුරකතනයකින් පටිගත කිරීමෙන් පසු අන්තර් ජාලයට යොමු කිරීම හේතුවෙන් එය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර විසිරී විහිදී ගොස් තිබේ.

ශ‍්‍රී ලංකාව ආගන්තුක සත්කාරය ගැන විශාල කීර්තියක් ඇති රටකි. බුදු දහමින් පෝෂිත යහපත් මනුෂයන් ජීවත්වන බව ලෝකය පුරා පිලිගැනීමට ලක් ව ඇත. රට ඉතා කුඩා නමුත් ලාංකිකත්වය සෑහෙන ගෞරවයකට හේතු වී තිබේ. එවැනි සාඩම්බරණීය තත්ත්වයක් උපයාගත්තේ පහසුවෙන් නොවේ. මෙරට විසූවෝ ඉතිහාසයේ සිට සෑහෙන කැපවීමක් කර තිබේ. එය විශාල වටිනාකමකි. ලෝකයේ නොයෙක් තවත් රටවල් ස්වකීය කිර්තිය හා හොද පිළිගැනීම වෙනුවෙන් සෑහෙන පරිශ‍්‍රමයක් දරති. නිල සන්නාමධාරීහු සහ මහජන සම්බන්ධීකරණ ආයතන එවැනි දේ වෙනුවෙන් පෙනී සිටින බව රහසක් නොවේ. එවැනි පසුබිමක් තිබිය දී උරුමයෙන් ලැබුණ ප‍්‍රතිරූප විනාශ කරගැනීමට උත්සුක වන්නේ ඇයි? සමාජය බුද්ධිමත් නමුත් මෙකී සරල යතාර්ථය නොවැටහෙන්නේ මන්ද?

අප සියළුම දෙනා මග වරද්දාගෙන සිටින අතර වල්මත් වී ඇති සමාජයක ස්වභාවයට පත්ව ඇත. පොදුවේ සියළුම දෙනා එම තත්ත්වයට වගකිව යුතුය. විශේෂයෙන් සමාජ, දේශපාලන හා ආගමික නායකයෝ මෙකී පිරිහීම නොසලකා සිටිය යුතු නැත. මෑත කාලය තුළ ලැජ්ජාව හා බය රහිත හැසිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් විය. නායකයෝ ක‍්‍රියාකරන ආකාරය දෙස බලන විට අනුගාමිකයෝ ද එසේ හැසිරුනහ. එහි බලපෑමක් වශයෙන් සාමාන්‍ය ජනතාව ද, ගරු කළ යුතු දෙයට නිගරු කරන්නට නැඹුරු වූහ. නිසි තැන, සමාජ සාධාරණත්වය වෙනුවට බලපොරය තහවුරු විය. දරුවා පාසලකට ඇතුලත් කිරීමේ සිට පුරවැසියෙකු අවසන් හුස්ම හෙළන තෙක් බොරුව, වංචාව සහ අනෙකා යටපත් කරන ලක්ෂණ වලට නතු විය. එය කණාගාටුදායකය. නීතිය තදින් ක‍්‍රියාවට නැංවීටමන් පමණක් මෙම පිරිහීම නැවත ආපසු හරවන්නට පුලූවන්කමක් නැත.

වටිනාකම් ගැන දරුවන්ට කියාදෙන අධ්‍යාපන ක‍්‍රමයක් රටට අවශ්‍යය. අනන්‍යතාවයට ආරක්ෂා කරන අතර අනෙක් පුද්ගලයා ගේ උරුමයට ද ගරු කරන්නට කියා දීම වැදගත්ය. පොහොසත්කම මැනිය යුතු ධනයෙන් හෝ බලයෙන් නොවේ. වගකීම හා යුතුකම ගැන අදට වඩා හිතන සමාජ ව්‍යුහයක් ගොඩනගන්නට අවශ්‍යය. ආන්දෝලන හැර අනෙකක් සමාජ මාධ්‍ය වලින් අපේක්ෂා කළ නොහැකිය. ලෝකය පුරා සමාජ මාධ්‍ය වලට විරෝධයක් ද තිබේ. ඒවායෙන් ඇති කරන පැල්ලම්  නැවත මැකිය නොහැකි අදුරු තැන් ඇති කරයි.

 

 

 

Advertisements