milinda-prashna

 

2019/09/11 – ලංකාදීප

අන්තවාදය ඉතා නුසුදුසු අවියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අන්තවාදයට තැනක් තිබිය යුතු නැත. ඉතා ඉහළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් සහ විශිෂ්ඨ සම්ප‍්‍රදායයක් පවත්වාගෙන යන බි‍්‍රතාන්‍ය බරපතල අන්තවාදයකට ගොදුරු වී සිටී. එයට බලපෑවේ යුරෝපා හවුලේ සාමාජිකත්වයයි. යුරෝපා හවුලට එකතුවීමට 1973 වසරේ දී ගත් තීරණය රටට අවාසි සහගත බව අද බි‍්‍රතාන්‍ය තුළ තර්කයක් තිබේ. යුරෝපා හවුලෙන් ඉවත්ව තනි රටක් වශයෙන් ඉදිරියට යා යුතු බව එක හෙලා නැගෙන මතය වී ඇත. බි‍්‍රතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් වීම බි‍්‍රක්සිට් යනුවෙන් හදුන්වයි. එය උදෙසා අන්තවාදී දේශපාලන කණ්ඩායම් රට තුළ විශාල කැළඹීමක් ඇති කර තිබේ. බි‍්‍රක්සිට් යනුවෙන් දේශපාලන පක්ෂයක් ද බිහි වී ඇති අතර එහි එකම අරමුණ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පමණකි.

යුරෝපා රටවල් සමග එකට කටයුතු කිරීම බි‍්‍රතාන්‍යයට බරපතල අවාසියක් බව ඒත්තු ගන්වන්නට එරට දැඩි මතධාරීහු සමත් වී ඇත. නොයෙක් රටවල්වලින් එන ජාතීන් තම වෘත්තීය අවස්ථා අත්පත් කරගන්නා අතර ගෙවන බදු වෙනත් රටවල් පොහොසත් කරන බව දක්වන්නට අන්තවාදී කුඩා දේශපාලන පක්ෂ සමත් විය. සමාජ මාධ්‍ය මෙකී ගැටළුව බහුලව භාවිතා කළේය. ඬේටා සේවා සමාගම්  එයට ඇතුළු වූ බව රහසක් නොවේ. එවකට අගමැතිව සිටි ඬේවිඞ් කැමරන් ජනමත විචාරණයක් පවත්වන ලද අතර එහි අරමුණ වූයේ බි‍්‍රක්සිට් තීරණය ගැන ජනතාවගෙන් විමසීමයි. එයින් පරාජය වූ කැමරන් අගමැතිවරයා ඉල්ලා අස්විය. ඉන් පසු ධුරයට පත් තෙරේසා මේ අගමැතිනිය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ පවත්වන විවාද වට ගණනාවකට මුහුණ දුන් අතර ඇයගේ ප‍්‍රයත්නය වූයේ අධික පිරිවැයක්, සෑහෙන කාලයක් ගතවන ඉවත්වීමේ යෝජනාව මගහැරීමය. එයට කිසිසේත් ඉඩක් ලැබුණේ නැත. අවසානයේ දී කෙටි කාලයක් තුළ අගමැතිනිය ඉවත් වූ අතර අලූත් අගමැති බොරිස් ජොන්සන් ද බ්‍රෙක්සිට් අර්බුදයෙහි පැටැලී සිටී.

යුරෝපා හවුලට එකතුවීමෙන් තමන්ට ලැබුණ දෙයක් නැති බව සාමාන්‍ය ජනතාව හිතන අතර සියළු වාසි වරප‍්‍රසාද ලත් පැලැන්තියය බව මතයක් තිබේ. සංවර්ධනය අසමාන ලෙස බෙදී ඇති බව සිතන අතර රට තුළ ඇති සියළු දෝෂ වලට එකම හේතුව යුරෝපා හවුල යැයි ජනතාව තුළ තද මතයක් ඇත. එම මතය ජනතාව අතරට ගෙන යන්නට නූතන සමාජ මාධ්‍ය භාවිතාව ඉවහල් වී තිබේ. ඉතාම සූක්ෂමව තෝරාගත් ජන කොටස් වෙත දිගින් දිගටම අන්තවාදී අදහස් සන්නිවේදනය කරන්නට උපායශීලීහු සමත් වූ අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්පත් කරගත් අවාසියකි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය බිත්තියට හේත්තු කරන්නට සමත් විය. මෙම හේතුව මත අන්තවාදී කොටස් කොන්සර්වටිව් පක්ෂයේ බලය අල්ලා ගෙන ඇත. කම්කරු පක්ෂය අධිවාමාංශික තත්ත්වයට පත්ව තිබේ. මැද මාවත අහෝසි වී ඇත. සුළු කණ්ඩායමක මත හැසිරවීම සමාජය බෙදා වෙන් කළ අතර දේශපාලන පක්ෂ අතර පවා වියවුල් ඇති කළේය. ඡන්දයකට පසු අලූත් ආණ්ඩුවකට ප‍්‍රශ්නය භාර දීම හැර අනෙක් පියවරක් ඉතිරි වී නැත.

ඉදිරි මහ මැතිවරණයක දී සම්ප‍්‍රදායික දේශපාලනය තුළ විශාල පෙරැළියක් විය හැකි අතර බි‍්‍රක්සිට් පක්ෂය වැනි අන්තවාදී, එකම අරමුණක් සහිත පක්ෂ ආසන දිනාගෙන බි‍්‍රතාන්‍ය දේශපාලන ව්‍යුහය අසරණ කරනු ඇති බවට මතයක් නැගී තිබේ.

අන්තවාදී දේශපාලනඥයන් සහ ඔවුන්ගේ අතට පත් වූ සමාජ මාධ්‍ය සන්නිවේදනය ඇති කරන ලද භීතිය ඉතා කීර්තිමත් රටක, ඉතා ඉහළ සම්ප‍්‍රදායයන් බෙලහීන කර තිබේ. විශිෂ්ඨ පුද්ගලයන් ගේ සමබර අදහස් පැත්තකට විසි වී ඇත. අවුලූවන සුළු අදහස් වලට විශාල ඉඩක් ලැබී තිබේ. ගූගල්, ඉන්ස්ටග‍්‍රෑම්, ට්විටර් සහ ෆේස්බුක් මෙම අවුල ඇති කරන ලද අතර කුඩා කණ්ඩායමක් තාක්ෂණිකව පතුරවන මත ජාත්‍යන්තර අර්බුදයකට මුල පුරා තිබේ. තද අදහස් සහිත පිරිස පරාජය භාර ගැනීමට සූදානම් නැත. යුරෝපා හවුලෙන් ඉවත් වූ පසු සිදුවන්නේ කුමක් ද යන්න ගැන ජනතාව ප‍්‍රශ්න නොකරයි. මෙම ව්‍යාකූලත්වය ලෝකයේ  ඕනෑම තැනක ඇතිවිය හැකිය. සමාජ මාධ්‍ය භාවිතාවේ ඇති අවුලවන සුළු ගතිය ස්ථිර පැවැත්ම අසරණ කර අන්තවාදයට තල්ලූ කළ අන්දම අධ්‍යයනය කළ යුතුය. අපට ද පාඩමකි.

Advertisements