milinda-prashna

2019/09/04 – ලංකාදීප

දාර්ශනිකයෝ බලය ගැන නොයෙක් නිර්වචන ඉදිරිපත් කර තිබේ. ඒවායේ හරය ගැන සෑහෙන විවාද කළ හැකිය. බලය කේන්ද්‍රගත වන ආකාරය හා පුද්ගල බලය පාලනය කර ආයතනික වශයෙන් බල කේන්ද්‍ර ඇති කිරීම ගැන සෑහෙන අත්හදාබැලීම් ප‍්‍රමාණයක් ඇත. රටවල් පාලනය කරන පාලකයෝ තනි බලය ඇතිව කි‍්‍රියා කරන අන්දම ගැන උදාහරණ තිබේ. ඒවායේ සාර්ථක හෝ අසාර්ථක භාවය ගැන වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. ආයතනික ව්‍යුහයක් ගොඩනගා බලමුළුවක් ඇති කරන ව්‍යුහයක් වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට ඉහළ පිළිගැනීමක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාවට නැගෙන ආකාරය ගැන ද නොයෙක් විවාද ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය හමුවේ, ආසියානු රටවල් අතර සෑහෙන පැරණි අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබේ. ක‍්‍රමය යහපත් පැත්තට නැඹුරු වී ඇත් ද නොඑසේනම් දිනපතා පිරිහීම කරා ගමන් කරන්නේ ද යන්න ගැන නිවැරදිව දන්නේ පොදු ජනතාව පමණකි. අහන, දකින සිද්ධි පෙන්වන්නේ ක‍්‍රමය ගැන පැහැදීමක් නොවේ. බුද්ධිමත් ජනතාව දේශපාලනයේ ඇතැම් ලක්ෂණ පිලිකුල් කරති.

ඉදිරි මාස කිහිපය තුළ අලූත් වටයකින් දේශපාලනයේ චක‍්‍රය ඉදිරියට ගමන් කරනු ඇත. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ එයින් පසු පලාත් සභා මැතිවරණය පැවැත්වෙන බව අනාවරණය වෙයි. දේශපාලනඥයෝ ඡන්ද වලට සූදානම් වන අන්දම දකින විට රට ගැන කම්පාවක් ඇති වීම ස්වභාවිකය. වැඩිදෙනෙකු සටන් කරන්නේ කෑම පිඟාන අල්ලා ගැනීමටය. කොටසක් දැන් අල්ලාගෙන ඉන්නා තැන තහවුරු කරගැනීමට සටන් කරති. තවත් කොටසක් නැවත බලයට පැමිණ කලින් නතර වූ තැන සිට බෙදා ගැනීමට සිහින දකිති. ආණ්ඩුවෙන් යැපෙන ස්වභාවය දේශපාලනයේ නිරත එහි අත්දැකීම් ඇති කොටසට අමුතු දෙයක් නොවේ. ජනතාවගේ බදු මුදල් වලින් යැපීම ගැන දේශපාලනඥයන් බහුතරයකට කිසිම ලැජ්ජාවක් ද නැත. හොඳම කාර්යාල, සුඛෝපභෝගී වාහන, ඉහළම සැප පහසුකම සහ සීමාවක් නැති සංචාර වලට ගෙවන්නේ පොදු ජනතාවය. දුගී දුප්පත් ජනතාව වෙත සුළු සහනයක් දෙන පාලකයෝ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විශාල ධන ප‍්‍රවාහයක් වෙන්කර ගනිති. එක පක්ෂයක්, එක ආණ්ඩුවක් නොව පැවැති සෑම ආණ්ඩුවකම සිදුවූයේ මෙම අමිහිරි ශෝකාන්තය බව සඳහන් කරනු වටී.

ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලින් බලයට එන මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කරන්නේ මෙම ක‍්‍රමයෙහි දිගුවක්ද? දැන් හැසිරෙන ආකාරය අනුව ආණ්ඩුවෙන් යැපෙන න්‍යායෙන් ගැලවෙන සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැත. ඉදිරි ආණ්ඩුවේ රාජ්‍ය සංස්ථාවල ප‍්‍රධානීහු ලෙස පත්වන අය දැන් එළිපිට සටන අරඹා ඇත. දේශපාලනඥයන් සමග ගැවසෙන ඔවුන්ට බලය ලැබුණ පසු ලැබෙන තනතුර ගැන පාක්ෂිකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිතා ගැනීමට පුලූවන්කමක් තිබේ.  ආණ්ඩුවේ ඇමැතිකම්, ආයතන වල ධුර, තානාපති වරප‍්‍රසාද සහ උපදේශක අවස්ථා සියළු සැප සම්පත් සහිතය. බෙදා ගැනීමට ඇති නොතිත් ආශාව, අද පවතින දේශපාලනයේ සාහසික ස්වභාවය තවත් දරුණු වන එක හේතුවක් බව ද ඉතාමත් පැහැදිලිය.

මහජන සේවය, ස්වාධීන පාලනය හෝ යහපාලනය වැනි කුමන නමකින් හැඳීන්වුව ද පැවැත්මේ වෙනසක් සිදුවූයේ නැත. රජයේ වියදම පාලනය කරගත නොහැකි සහ විශාල නාස්තියක් කරන මෙම ව්‍යුහය වෙනස් කරන්නට දේශපාලන නායකයෝ අසමත්ය. වේදිකාවේ දී විශාල පොරොන්දු දෙන නමුත් බලයට පැමිණි පසු ආධාරකරුවන්, පාක්ෂිකයන්, හිතවතුන් සහ ඥාතීහු නඩත්තු කිරීම සුපුරුදු කාර්යයක් බවට පත් වෙයි. මෙකී අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කිරීමට ධෛර්යයක් නැත්තේ ඇයි? පවතින රාමුව බිඳ අලූතින් යමක් ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? රටට කළ යුතු සේවය අවසන් කළ පසු තමන්ගේ අනාගතය ස්වාධීනව සකස් කරගන්නට අසමත් මානසිකත්වය රටට විශාල හානියක් බව සඳහන් කළ යුතුය. ක‍්‍රමය වෙනස් කිරීම යනුවෙන් ජනතාව අදහස් කරන්නේ මෙම මහා යැපෙන සංස්කෘතියේ අවසානයක් දැකීම බව සඳහන් කළ යුතුය.

 

 

Advertisements