LOGO

2019/07/31- ලංකාදීප

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා බරපතල ලෙස සීමා කර තිබේ. බලතල අඩු කිරීම ගැන විවිධ පාර්ශව දක්වන අදහස් ගැන හැඟීමක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වී සිටින දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට නැත. බලය නැති ධුරයකට තරඟ කරනු සඳහා විශාල අරගලයක් ඇරඹෙමින් තිබේ. ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා නිසි බලය රහිතව ධුරය ගෙන යන්නට සූදානම්ද? බලයට පත්වන ජනාධිපතිවරයාට, ජනතාව අපේක්ෂා කරන පුලූල් සමාජ පරිවර්තනය කරන හැකියාවක් ව්‍යවස්ථානුකූලව තිබේද?
දහ නම වැනි සංශෝධනය අනුව අනාගත ජනාධිපතිවරයෙකුට මෙරට කිසිම ඇමැති ධුරයක් තමන් භාරයේ තබා ගත නොහැක. අඩුම තරමින් ආරක්ෂක අමාත්‍යංශය හෝ ඔහුට අයත් විෂයයක් නොවේ. ආණ්ඩුවේ අගමැති පත් කිරීමට හෝ ඉවත්කිරීමට බලය නැති අතර ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති කාලයට කලින් ආණ්ඩුවක් විසුරුවා හැරීමේ බලය ද රහිතය. අගමැතිවරයා ගේ අනුදැනුම රහිතව ඇමැතිවරු පත් කළ නොහැකි අතර අගමැති නිර්දේශ නොකළහොත් අඩුම තරමින් ඇමැති මණ්ඩල සංශෝධනයකට හෝ අයිතියක් නැත. අග‍්‍ර විනිශ්චයකාර හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු සහ අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් පත් කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිත අවස්ථාවක දී හැර නැති බව ද සඳහන් කළ යුතුය. නීතිපති, විගණාකාධිපති, පොලිස්පති, ඔම්බුස්ඞ්මන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පත් කිරීමේ බලතල ද ව්‍යවස්ථා සභාවේ නිර්දේශ වලට යටත්කර තිබේ. ව්‍යවස්ථා සභාවට ඇති බලය කොපමණ ද යත් එම සභාවේ නිර්දේශ ලැබී දින දහ හතරක් ඇතුලත පත් නොකළහොත් නිර්දේශ කරන ලද අයවලූන් පත් කරනු ලැබූවන් සේ සලකන බව සංශෝධිත ව්‍යවස්ථාව පෙන්වා දෙයි. සංශෝධනය කර ඇත. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාගේ ස්වභාවය නාමික තනතුරක් පමණක් බව පැහැදිලිය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ධුරයේ කටයුතු කරන්නට බලාපොරාත්තුවෙන් සිටින අපේක්ෂකයෝ රටට වැඩ කරන මහත් අභිලාශ ඇතිව සිටිති. ජනතාව සෑහෙන බලාපොරොත්තු සහිතවය. නමුත් කරන්නට පුලූවන් දේ සීමිත බව පොදු ජනතාව අවබෝධ කරගත යුතුව තිබේ. ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා විශාල නායකත්වයක් සහිත අද පවතින සියළු අර්බුද විසැඳිය හැකි එකම පුද්ගලයා වශයෙන් කල්පනා කරන්නට සමාජය නැඹුරු වී සිටින අතර එය ඇත්ත නොවේ. මුළු රටම ඡුන්දය දී විධායක ජනාධිපතිවරයෙකු පත් කරගනු ඇති නමුත් ඔහුගේ විෂය පථය පාර්ලිමේන්තු ක‍්‍රමය මගින් යටපත් කර තිබේ.
ජනාධිපති අපේක්ෂකයන් තෝරා ගැනීම ගැන උග‍්‍ර තරඟයක් පවතින බව පෙනේ. එකම පක්ෂය තුළ අපේක්ෂකයෝ ගණනාවක් සිය අභිලාශය අඟවමින් සිටී. පක්ෂ අතර මතබේධ පවා හටගෙන තිබේ. බලය ඉල්ලන අපේක්ෂකයෝ තනතුර නිසි බලයක් නැති අතර ඉතිරි සීමිත බලතල අනුව ජනාධිපති ධුරය යනු හුදෙක් සංදර්ශනාත්මක තනතුරක් බව දක්වන්නේ නැත.
ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකය. ජාති, ආගම්, දේශපාලන වශයෙන් පමණක් නොව තමන් ඉගෙනගත් පාසල අනුව පවා බෙදී හුදෙකලා වූ සමාජයක් එකට එකතු කරන බරපතල වගකීමක් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ මෙහි දී සිය තනතුර ගැන ඉදිරි සැලැස්ම වහාම ප‍්‍රකාශ කළ යුතුය. මුළු මහත් පුරවැසියන් ප‍්‍රකාශ කරන ඡුන්දයෙන් තෝරා ගැනෙන විධායක ජනාධිපතිවරයෙකු නම් ඔහුට රටට වැඩක් කළ හැකි පරිදි බලයක් එන ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුය. නැත්නම් අනවශ්‍ය බලාපොරොත්තු ඇති නොකරන මෙම ධුරය නාමමාත‍්‍රික එකක් බවට හරවන්නට අවශ්‍යය. මෙම දෙපැත්තෙන් තෝරා ගන්නේ කුමක්දැයි සවිස්තරාත්මකව සමාජයට හෙළි කිරීම අපේක්ෂකයන් සතු යුතුකමකි.

Advertisements