LOGO

2019/06/12 – ලංකාදීප

වියට්නාමය ලෝකයේ බලවත් ජාතීන්ගෙන් සෑහෙන බැට කෑ රාජ්‍යයකි. ප‍්‍රංශය, ජපානය හා ඇමරිකාව යනාදී වශයෙන් රටවල් වියට්නාමය යටත් කරගෙන සිටියේය. ස්වකීය අධිරාජ්‍යවාදී ඒකාධිපති පාලනය පෙරලා නිදහස් රටක් ගොඩනගා ගන්නට වියට්නාමය සූදානම් වන විට මෙකී රටවල් වියට්නාමය යටත් කරගන්නට ප‍්‍රයත්න දැරීය. අසල්වැසි චීනය සමග පවා අඛණ්ඩව වියවුල් සහගත තත්ත්ව වල පැටලී සිටියහ. කිසිම රටකට යටත් වෙන්නට සූදානම් නොවූ වියට්නාම් ජාතිකයෝ අති මහත් ධෛර්යයෙන් යුතුව සටන් කළ බව ඉතිහාසයේ සටහන්ව තිබේ. ඇමරිකානු හමුදාවලට එරෙහිව වසර විස්සක් සටන් කර ඇත. ඉතා උපායශීලී, යටිබිම්ගත සටන් වල නියැලි පරාජයවීමට සූදානම් නොවූ වියට්නාම් ජාතිකයන්ගේ ආත්ම ශක්තිය පුදුම සහගත බව ජගත් විචාරක මතයයි.

අතීත සිද්ධි අමතක කර නැවත අභිමානයෙන් නැගී සිටින වියට්නාමය මෑත දශක කිහිපය තුළ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ක්‍රියා කර තිබේ. හොඳ මිතුරන් හදුනාගන්නට පමණක් නොව මිතුරු වෙසින් එන ආක‍්‍රමණිකයන් වෙන් කර දකින්නට ද සමත් වී ඇත. ලෝකයේ රටවල් 168 ක් සමග රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීමට වියට්නාමයට හැකි වී තිබේ.  ජාතීන් අතර සබඳතා ඇතිකරගැනීමේ දී  නොකරන හෝ නොකළ යුතු දේ තුනක් ප‍්‍රසිද්ධ කර ඇත. නොකරන කරුණු තුනක් යනුවෙන් එය දක්වා තිබේ. එකක් කිසිසේත් ආරක්ෂක සහයෝගීතා ඇතිකරගන්නේ නැති බවය. කිසිම රටක් සමග ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් හෝ අවබෝධතා අත්සන් කරන්නේ නැත. දෙවැන්න වෙනත් රටකට විරුද්ධව තවත් රටක් සමග සම්බන්ධතා ඇතිකර නොගන්නා බවයි. තවත් රටකට විරුද්ධව වෙනත් ලෝකයේ කිසිම රටක් සමග එකතු වී බලවේගයක් නොවෙන බව ශපථ කිරීම එහි අරමුණ වී තිබේ. අනෙක, එනම් තුන් වැනි පොරොන්දුව විදේශ හමුදා සේනාංක වලට වියට්නාමය තුළ කදවුරු බදින්නට ඉඩ නොදෙන බවය. මෙම කරුණු තුන වියට්නාමයේ ජාතික විදේශ ප‍්‍රඥප්තියේ ප‍්‍රධාන ගිවිසුමක් වී ඇත.

වියට්නාමයේ අධිශ්ඨානය ඉතා ප‍්‍රායෝගිකය. ලෝකයේ එකිනෙකට වෙනස් තත්ත්ව හමුවේ පවා නොඇලී, නොගැලී සිටින්නට සමත්ය. අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? ලංකා රාජ්‍ය, අවුරුදු හාරසියයක් දළ වශයෙන් පරම්පරා පහක් පරාධීනව සිටියේය. අපරාජිතව, අභීතව නැගී සිටින්නට තැත් දරන ලද හැම අවස්ථාවකම පාවාදෙන්නෝ සිටියහ. තාන්න, මාන්න වලට ලොබ බැ`ද කරන ලද කුමන්ත‍්‍රණ අධිරාජ්‍යවාදීන්ගේ කටයුතු පහසු කළේය. නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ දශක හත තුළ පරණ වැරදි හදා ගත්තේ නැත. වර්තමානයේ පවා බෙදීම්, ගැටීම් බහුලය. එක ආණ්ඩුවක් කරන දේ අනෙක් පාර්ශවයට සුදුසු නැත. වෙනත් මතයක් ඉවසන්නට හෝ හරි දේ හදුනාගන්නට අසමත්ය. මේවා ගැන නොසිතන්නේ නොසිතන්නේ ඇයි?

හැමදාමත් විදේශ කුමන්ත‍්‍රණ ගැන ගෝසා කරයි. ගිවිසුම් ගැන නොසන්සුන් වෙයි. බටහිරට පමණක් නොව අපරදිග රටවලට ද භූමිය පවරා දෙන බවට චෝදනා නැගේ. ජාත්‍යන්තර ගිවිසුම් හරහා රට තුළ හමුදා කඳවුරු හැදෙන අතර එය විශාල පාවාදීම් බව ප‍්‍රකාශ වෙයි. විදේශ සම්බන්ධතා ඇතිකරගැනීමේ දී නොකළ යුතු කරුණු ගැන එකඟතාවයක් ඇති කරගත නොහැකි මන්ද? එවැනි ප‍්‍රතිපත්ති ස්ථිර හා නොබිඳීය හැකි ඒවා සේ සලකා ක‍්‍රියා කරන්නට අපොහොසත් මන්ද?

දේශපාලනඥයන් මෙම ප‍්‍රශ්න ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. පක්ෂ දේශපාලනයේ දී පටු චෝදනා හෝ අසත්‍ය ප්‍රලාප දෙඞීම සුදුසු නැත. රටට ගැලපෙන පොදු ප‍්‍රතිපත්තියක් හදා සෑම මිතුරු රාජ්‍යයක් වෙතම සමාන අවස්ථා පිරිනැමීම අද යුගයේ පවතින බලවත් වගකීමකි.

 

 

 

Advertisements