LOGO

2019/06/05 – ලංකාදීප

මුහුණ සමග අමනාප වන අප නාසයෙන් පලිගැනීමට දක්ෂයෝ වෙති. පැරණි උපහැරණ එයට සාක්ෂි දරයි. වර්තමානයේ ස්වභාවය ද එය, නැවත නැවතත් සනාථ කරන බව පෙනේ. ‘‘දෙසිය විසි පස් දෙනාම එකයි’’ යන මතය ගොඩනැගෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. දෙසිය විසි පහ යනුවෙන් දක්වන කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්ව සිටින මහජන නියෝජිතයන් බව සැලකිය යුතුය. නියමාර්ථයෙන් ප‍්‍රශ්න කළහොත් දේශපාලන නායකයෝ සියළුම දෙනා හොරු ද? නොඑසේනම් වංචාකාරයෝ ද? රටට කිසිම වැඩක් කරන්නේ නැති කොටසක්ද?

අවංක අධ්‍යයනයක යෙදුනහොත් මැති ඇමැතිවරු පවතින සමාජයේ හරස් කඩකි. ජනතාව හමුවට ගොස් විශාල කැමැත්තක් දිනාගෙන සෑහෙන ඡන්ද ගණනක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීම පහසු කාර්යයක් නොවේ. පොදුවේ බලන විට දේශපාලනඥයෝ  සියළුම ආකාරයෙන් පිරිසිදු නැත.  නමුත් මෙම සෑම පුද්ගලයෙකුම මහජන නියෝජිතයෙකි. ජනතා නායකයෙකි. වංක, වංචනික, තීරණයක් ගත නොහැකි, බලලෝභී හෝ මහජන මුදල් කාබාසිනියා කරන්නේ නම් ඒවා නිවැරදි කරගන්නට ජනතාවට වගකීමක් තිබේ. මැතිවරණයක දී බහුතර ඡන්දයෙන් තීන්දුවක් ගත යුතුය.  පුද්ගලයන් දුෂිත හා පලකට නැති තැනට පත් වන හේතුව ද විමර්ෂණය කිරීම ඉතාමත් වැදගත්ය.

ඡන්දය දී බලයට පත් කරන දේශපාලනඥයාගෙන් දරුවාට හොද පාසලක් ලබා ගැනීමේ සිට තමන්ට සංස්ථාවක සභාපතිකමක් ගැනීම දක්වා පුලූල් පරාසයක වැඩ කොටසක් බලාපොරොත්තු වන බව දැක්විය යුතුය. මේවා කරන්නට පුලූවන්කමක් නැත. දේශපාලන පක්ෂ ගෝත‍්‍රික වී තිබේ. පක්ෂයේ අනුගාමිකයෝ පක්ෂය බලයට පත් වන තෙක් බලා සිටිති. තමන්ට වැඩක් කරගන්නටය. මරාගෙන මැරෙන දේශපාලන ක‍්‍රමයක් නිර්මාණය වන පසුබිම එයයි. නොබෝදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණය එක උදාහරණයකි. පත් වූ මන්ත‍්‍රීවරුන් 539 ක ගෙන් 233 කට එනම් සියයට පනහකට පමණ අපරාධ චෝදනා තිබේ. වැරදිකරුවන් නායකයන් වශයෙන් තෝරා ගැනීමේ ප්‍රවනතාව පසුගිය මැතිවරණයට වඩා ඉහළ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. චන්ඩියෙක් පත් කරගෙන තමන්ගේ වැඩ කරගන්නට හැකි වන එනම්, පාක්ෂිකයන්ට සලකන දේශපාලනය සඳහා ක‍්‍රමය හැදෙන්නේ කොහොම ද? එයත් සලකා බැලිය යුතුව තිබේ. රට ගොඩනගන, රටට දර්ශනයක් හදන ජන නායකයෝ බලයට පත් කරන ක‍්‍රමය ඉතාම විකෘති තත්ත්වයට පත්ව තිබේ.

ශ්‍රීලංකාවේ ඡන්ද ක‍්‍රමය අනුව අපේක්ෂකයා විශාල වියදමක් කළ යුතුය. දිස්ති‍්‍රක්කයක ප‍්‍රචාරක කටයුතු හා සංවිධානය කිරීම වෙනුවෙන් වැය කළ යුතු ධනය සුළු පටු නොවේ. මේවාට මුදල් ලැබෙන්නේ කොතැනින්ද? දේශපාලකයෝ වියදම් කරන මුදල් උපයන්නේ නීත්‍යානුකූලව නොවේ. එය ප‍්‍රකට රහසකි.  ඕනෑම ක‍්‍රමයකින් හම්බකරන මුදල් යොදවා,  ඕනෑම නීතියක් අභිබවා සියළුම බලවේග වලට අභියෝග කර පාර්ලිමේන්තුවට යන පාර හදාගන්නා පුද්ගලයා මහජන නියෝජිතයාය. පලාත් පාලන ආයතනයේ සභිකයා ගේ සිට පලාත් සභාව, මහජන මන්තී‍්‍රවරු ඇතුළු රටේ ඉහළම තනතුර දරන පුද්ගලයා ද තෝරා ගැනෙන්නේ මෙම අතිශය කණගාටුදායක ක‍්‍රමය අනුවය. ක‍්‍රමය වෙනස් කරන්නට ජනතාව සූදානම් නැත. ජනතාව පත් කරන පාලකයෝ ක‍්‍රමය වෙනස් කර යුක්තිගරුක ව්‍යුහයක් හදන්නට එකතු වෙන්නේ නැත. ධෛර්යයක් හෝ ආත්ම ශක්තියක් නැතිකම බලවත් දුර්වලකමකි. එවැනි පසුබිමක් තිබිය දී දෙසිය විසි පස් දෙනාම එකයි යනුවෙන් කියා සම්පූර්ණයෙන් පැත්තකට කර දැමීම සාධාරණ නැත.

බලය ඉල්ලන සෑම මහජන නියෝජිතයෙකුටම මෙම ක‍්‍රමය වෙනස් කරන්නට අවශ්‍යය. මෑත කාලයේ සෑම ඡන්ද ව්‍යාපාරයකම ප‍්‍රධාන පරමාර්ථයක් අතර සමානුපාතික මැතිවරණ ක‍්‍රමය හා මැතිවරණ වලට කරන වියදම වෙනස් කළ යුතු බව අවධාරණය වී තිබේ. නමුත් බලයට පත් වූ වහා එය තමන්ට කරගන්නට බැරි බව සනාථ වන අතර ඉතාම හොඳ අරමුණු සහිතව ඡන්දයට එන ජනතා නියෝජිතයෝ පවා මෙම ක‍්‍රමයේ ගොදුරක් බවට පත් වෙති. කොතැනකින් හේ යමක් කඩා ගෙන තමන්ගේ පාක්ෂිකයන්ට සලකා ඊළ`ග වතාවේ ද ඡුන්දයෙන් දිනන ක‍්‍රමය ගැන කල්පනා කරනු හැරන්නට රට ගොඩනගන්නට මැති ඇමැතිවරුන්ට අවකාශයක් නැත. මෙම පසුබිම හªනාගෙන සම්පූර්ණ සංශෝධනයකට අවස්ථාව සකස් කරගන්නේ නැත්තේ ඇයි? අප සියළු දෙනාම මේ ගැන හිතන්නට, කතා කරන්නට අවශ්‍යය.

Advertisements