LOGO

2019/05/29 – ලංකාදීප

නඩු යන්නෝ වැනසෙන්නෝ යනුවෙන් ජන ව්‍යවහාරයක් තිබේ. නඩුවක පැටලීම ව්‍යසනයක් යැයි එකල තහවුරු වන්නට ඇත. අදට ද විවාදාත්මකය. අධිකරණය අරභයා එක්තරා භීතියක් තිබේ. එය අනව්‍යශ්‍යය. ගෞරවයක් තිබිය යුතුය. එය වෙනත් කාරණයකි. හැම දෙයකටම සීමාවක් තිබේ. අද වන විට අධිකරණයේ නඩු පවරන ස්වභාවය රට තුළ සුලබය. අධිකරණයෙන් තීරණය කළ යුතු දෙයටත් නැති දෙයටත් නඩු පැවැරීමට නැඹුරු වී තිබේ.  අධිකරණයෙන් තීරණ ගැනීමට හුරුවීම සුදුසු ද යන්න සාකච්ඡුා කළ යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනක් තිබේ. මෙම ව්‍යුහ අතර සමබර පැවැත්ම ජන සම්මතවාදය තහවුරු කරයි. ව්‍යවස්ථාදායකය, එනම් මහජන නියෝජිතයෝ එකතුවන පාර්ලිමේන්තුව නීති හදයි. අධිකරණය එම නීති ක‍්‍රියාත්මක කරයි. නීති හදන ආයතනයේ විශ්වාසය පලූදු වී තිබේ. මහජන නියෝජිතයන් කෙරෙහි ජනතාව සැක පහල කරයි. ජනතා ඡුන්දයෙන් බලයට පත් වන දේශපාලනඥයන්ගේ හැසිරීම හා ප‍්‍රතිපත්ති ගැන ජනතාව තුළ පිලිකුල වර්ධනය වී තිබේ. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ඇති පිරිහීම පදනම් කරගෙන අධිකරණය වෙත අතිරේක බරක් පැටවී ඇත. හැම දෙයකටම අධිකරණයෙන් තීන්දුව අපේක්ෂා කරයි.

ව්‍යවස්ථාව ගැන, විධායකය හෝ මහජන නියෝජිතයන්ගේ තීරණ ගැන අධිකරණයට යන්නට යුහුසුළුවීම වර්තමානයේ දැකිය හැකි සුලබ තත්ත්වයකි. පාර්ලිමේන්තුව හා ඇමැතිවරුන් යටතේ ඇති අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල තීරණ ගැනීම පවා අධිකරණයෙන් අහන තැනට පත්ව තිබේ. නීතිපතිවරයා ගෙන් හෝ ශේෂ්ඨාධිකරණයේ මතය එනම් නීතිය පැහැදිලි කරගැනීම සාධාරණ විය හැකිය. අධිකරණයේ නඩු පවරා එම නඩු තීන්දුවක් අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට හුරුවීම බරපතල ගැටළු සහගත බව ස`දහන් කළ යුතුය.

අධිකරණයේ තීරණ ගැනීම පනවා ඇති වගන්ති අනුව සිදුවෙයි. නීති හදන ව්‍යවස්ථාදායකයේ හෝ ජනතාව පත්කරන විධායකයේ තීරණ ගැන අධිකරණයෙන් තීන්දුවක් ඉල්ලා සිටීම බැලූ බැල්මට ඉතා ගැටළු සහගතය. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට වඩා අධිකරණය ඉහළ යැයි මතයක් ඇති වෙයි. එම ආයතන වල බලතල අභිබවා යන ආකාරයේ ආරෝපිත බලයක් ගොඩනැගෙන්නට ඉඩ තිබේ. ප‍්‍රායෝගිකව සලකා බලන විට රටට හෝ ජනතාවට සිදුවන යහපතක් තිබේදැයි ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය.

අපරාධ හෝ සිවිල් නඩු අති විශාල ප‍්‍රමාණයක් අධිකරණ වල තිබේ. මේවා විසඳීමට ගතවන කාලය ගැන සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්න ඇත. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට ඇති බලතල අනුව ගන්නා තීරණ වලට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමෙන් සිදුවන අනර්ථය ගැන සමාජ නායකයෝ පුලූල් අවධානයට ගැනීම වැදගත්ය. යම් අසාධාරණයක් හමුවේ යුක්තිය ඉල්ලා සිටීම ගැන එකඟ විය හැකිය. නමුත් සෑම කාරණයකටම අධිකරණයෙන් විසªමක් පැතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ.

ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන බල කණු තුන එනම් ව්‍යස්ථාදායකය, විධායකය හා අධිකරණය යන තැන් වලින් ඉටුකරන වගකීම හා ජනතාව අපේක්ෂා කරන යුතුකම ගැන අවබෝධයක් රටට අවශ්‍යය. මෙකී ආයතන වල සමබරතාවය බිඳ එකකට වඩා අනෙකකට බලය ආරෝපනයට ගන්නා උපක‍්‍රම වලින් සිදුවන හානිය බරපතල බව තේරුම් ගැනීම අවශ්‍යය. මේවායේ ප‍්‍රධානීහු උද්ගතවිය හැකි අනතුර ගැන අවධානය යොමු කළ යුතුය. විශ්වාසය තහවුරු කරන යුක්තිගරුක ආයතන වශයෙන් පවත්වාගෙන යන්නට ප‍්‍රයත්න දැරිය යුතුය.

 

 

 

 

Advertisements