LOGO

2019/02/13 – ලංකාදීප

අප ජීවත්වන වට පිටාවේ අපට කරගන්නට බැරි දේ තිබේ. සිද්ධ වෙන්නේත් නැති දේවල් ඇත. කරගන්නත් බැරි, සිද්ධවෙන්නේත් නැති යමක් ගැන වෙහෙස විය හැකි  ප‍්‍රමාණයක් තිබේ. කැපවී ක‍්‍රියා කළ හැකි සීමාවක් ඇත.

රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදා ගැනීමේ කාර්යය ද කරගන්නත් බැරි – සිද්ධ වෙන්නේත් නැති යමක් බවට පත් ව තිබේ. බලයට පත්වන ආණ්ඩු තමන්ට ගැලපෙන ව්‍යවස්ථාව හදන්නට බලවත් වෑයමක් දරයි. බලය අල්ලා ගන්නට අරගල කරන අනෙක් සියළුම පක්ෂ දරන එකම ප‍්‍රයත්නය අලූත් ව්‍යවස්ථාවක් හදා ගන්නට දරන වෑයම පරාජය කිරීමය. වත්මන් දේශපාලන ව්‍යුහය තුළ මෙකී කලබැගෑනිය මැනැවින් ප‍්‍රදර්ශනය වෙයි. අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර, එය සම්මත කරගැනීම අරභයා අවශ්‍ය කරන නෛතික තත්ත්ව ගැන අවබෝධය අප සියළුම දෙනාට තිබේ. අවශ්‍ය කරන බලය කොපමණ ද යන්න සම්බන්ධ වැටහීමක් ඇත. අලූත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් සම්පූර්ණ එකඟතාවයක් ඇති කරගැනීමට අපොහොසත්ය.

ඉතිහාසයේ සිට කරුණු අධ්‍යයනය කළහොත් එක විසදුමක් ඉදිරිපත් කරන විට එයට අනෙකා කැමැති නැත. අකමැති පාර්ශවය ගෙන එන සාධාරණ යෝජනාවකට පවා තවත් කොටසක් එකහෙලා විරුද්ධය. අප ජීවත්වන ජන සමාජයේ ප‍්‍රශ්නයක් හටගත් අවස්ථාවල විසඳාගන්නා ක‍්‍රමයක් තිබේ. කැපවීමය. එකඟතාවයක් පළ කිරීමය. තමන් ගේ ස්ථාවරයෙන් අඩියක් පිටුපසට ගැනීමය. තදින් වාද කරන පැති දෙකක් දෙදෙනාම එක අඩිය බැගින් පස්සට ගතහොත් බිහි වන අවකාශයෙන් අලූත් විසදුමක් නිර්මාණය කරගත හැකිය. ප‍්‍රායෝගික පැත්ත එයයි. නමුත් මෙරට දේශපාලන ක‍්‍රමය තුළ ස්වකීය පැවැත්ම හැර අනෙක් ප‍්‍රායෝගික යෝජනාවකට ඉඩ නැත.

මෙරට පොදු ජනතාව අඩියක් ආපසු ගැනීමට සූදානම්ය. ඉතිහාසය පෙන්වා දී තිබේ. නමුත් පාලකයෝ කැමැති නැත. තමන් කරන්නට සූදානම් වන දෙයට අනෙක් සියළුම දෙනා විරුද්ධ බව ඔවුහු පෙන්වයි. විරුද්ධ අය කියන්නේ තමන්ගේ සංශෝධන වලට අනෙක් අය කැමැති නැති බවය. පාර්ශව අතර බරපතල වාග් කෝලාහලයකි. එක වචනයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය.  එය විශාල සංදර්ශනයක් වී තිබේ. අති දක්ෂ රංගනයක් වී ඇත. පරාජය වන පාර්ශවය බිමටම වැටෙනවා දකින්නට අන්තවාදී පාක්ෂිකයෝ කැමැතිය. පරාජය වන චරිත ආයෙත් නැගිට මුල් ජයග‍්‍රාහකයාට වැරෙන් පහර දෙන අන්දම දකින්නට ප‍්‍රතිවිරුද්ධ පාක්ෂිකයෝ ඉතා කැමැති බව ද සඳහන් කළ යුතුය. මෙම ආරවුල ඉතා විචිත‍්‍රවත් අන්දමට මාධ්‍ය වලින් විකාශය කෙරේ. වේදිකාව දෙවනත් කරන වචන අහුලාගන්නා දේශපාලන විචාරකයෝ ඒවා යළි යළිත් අර්ථකථනය කරමින් සිටිති.  මේ පෙන්වන්නේ අප ගතකරන කාල වකවානුවේ එක හරස්කඩක් පමණකි.

මෙකී රංගන විලාසය තුළ අප සියළුම දෙනාගේ එදිනෙදා දැවෙන ප‍්‍රශ්න අමතක වී තිබේ. ව්‍යවස්ථාව රටට ඇති එකම අපලය ද? ජනතාව ගේ දුක වේදනාව තුරන් කිරීමට අලූත් ව්‍යවස්ථාවකින් හැකිද? අධ්‍යාපනය, ගමනාගමනය, රැකී රක්ෂා, ආහාර හෝ සෞඛ්‍ය පහසුකම් වැනි කිසිම අංශයකින් ජනතාවට සහනයක් නැත. පසුගිය දශක ගණනාව තුළ ඉදිරියට යන බව පෙන්වූ සමාජය ගමන් කර ඇත්තේ අවරටය. පුලූවන්කමක් ඇති  ඕනෑම කෙනෙක් ශ‍්‍රී ලංකාව අත්හැර වෙනත් රටක පදිංචියට සූදානම් වකවානුවක අලූත් ව්‍යවස්ථාව ගැන ඇති කරන ප‍්‍රශ්නය පැවැත්ම උදෙසා වූ එක්තරා පැලැස්තරයක් පමණකි. දේශපාලනයේ පවතින මෙම පටු ක‍්‍රියා පටිපාටිය ජනතාව ප‍්‍රශ්න කළ යුතුව තිබේ.

 

 

Advertisements