milinda-prashna

2019/01/23 – ලංකාදීප

නිදහස් අධ්‍යාපනයේ ගමන ගැන ආඩම්බරයෙන් කතා කළ හැකි පසුබිමක් ශ‍්‍රී ලාංකේය ජන සමාජයට ඇත. නිදහසේ අධ්‍යාපනය ගැන අවධානය යොදවනු හැකි පසුබිම ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. අධ්‍යයන කටයුතු වලට ඇති අවස්ථා වඩාත් පුලූල්ය. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් දරුවන්ට නිදහසේ ඉගෙන ගන්නට හැකි අන්දම හොඳින් කලමණාකරනය කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම ඉතාම වැදගත්ය.

සති අන්ත පුවත්පතක්, රුපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවක පළකරන දැන්වීම් ප‍්‍රමාණය මෙරට නිදහස් අධ්‍යාපනය ගැන එක පැතිකඩකි. නූතන සමාජ මාධ්‍ය මගින් ශිෂ්‍ය ප‍්‍රජාවට ආමන්ත‍්‍රණය කරන වානිජ ආකාරය ඉතාම සූක්ෂමය. අධ්‍යාපනයේ ඇති අවස්ථා සම්බන්ධ විශාල ප‍්‍රචාරයක් ගෙන යයි. පුද්ගලික අංශය පමණක් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල පවා මෙම ප‍්‍රචාරක කටයුතු වල නිතරය. ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා අතිවිශාල ප‍්‍රමාණයක් ගැන විස්තර මේවායේ තිබේ. විදේශිය විශ්ව විද්‍යාල හා වානිජ මටට්මින් විවිධ පාඨමාලා පවත්වාගෙන යන ආයතන පවා ඒ අතරය.  රජයේ අනුමැතිය සහිත දෙස් විදෙස් ආයතන හා එම ආයතන වලට සමාන අන්දමට ස්ථාපිත කරන ලද අධ්‍යාපන සමාගම් ද පවතී.

රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන මුදල් ගෙවන අධ්‍යයන අවස්ථා වලට යොමු වන්නේ ඇයි? මෙරට අධ්‍යාපනය අතිශය තරඟකාරී ව්‍යුහයක පසුවන හෙයිනි. උසස් පෙල විභාගයට උත්තර ලියා සමත් වන ශිෂ්‍ය ප‍්‍රජාවගෙන් තිස් දහසකට පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත්වන අවස්ථාව ලැබේ. සුදුසුකම් ලබන පිරිසගෙන් පහෙන් එකකටත් වඩා අඩු කොටසකි. විශ්ව විද්‍යාල පද්ධතියට ප‍්‍රවේශ වන අවස්ථාව අහිමි දරුවන් ගේ උසස් අධ්‍යාපන අවස්ථා මුදල් ගෙවන ආයතන වලින් තෝරා ගැනීම හැර විකල්පයක් නැත. ඇතැම් විෂයය පාඨමාලා වෙනුවෙන් පමණක් රජයේ ශිෂ්‍ය ණය ක‍්‍රමයක් බලපවත්වන අතර එම ණය සහන කාලයකට පසු ආපසු ගෙවිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශ අතර සෑහෙන කලබැගෑනි තිබේ. ප‍්‍රාථමික අධ්‍යාපන යේ සිට ටියුෂන්ය. නිදහස් අධ්‍යාපනය යනුවෙන් ප‍්‍රකාශ වන නමුත් දරුවන් හා දෙමාපියන් අධ්‍යාපනය වෙනුවෙන් නොසෑහෙන කාලයක් හා ධනයක් වියදම් කරයි. එය මෙරට සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමේ පිරිවැයක් බව සඳහන් කළ යුතුය. අතිරේක පන්ති වලට සහභාගීවීම සාමාන්‍ය කාරණයක් වී ඇත. නිසි ප‍්‍රමිතියකින් තොර මූලික පහසුකම් පවා රහිත ස්ථාන වල දහස් ගණනින් සිසු සිසුවියෝ මුදල් ගෙවා අධ්‍යාපනය ලබති. මෙම දරුවන් ගෙන් කොටසක් අසාධාරණයට ලක් වෙති.  සිය අනාගතය අතරමං වන තැනකය. පුද්ගලික ආයතන වල හෝ රජයේ විශ්ව විද්‍යාල වල මුදල්ගෙවා ඉගෙනගන්නට හැකිය. මුදල් ගෙවා ඉගෙනගන්නට හැකියාවක් නැති කොටස ගැන අවධානය යොමු කළ යුතුය.

බි‍්‍රතාන්‍ය රජය අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ගේ වියදම් රාමුව වෙනස් කරන්නට යයි. නොමිලේ අධ්‍යාපනයක් නැති අතර අධ්‍යාපන වියදම් වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලැබේ. රැකියාවක් ලැබුණ පසු වසර තිහක් තුළ සමාන වාරික වලින් පිරිවැය ආපසු ගෙවිය යුතුය. ධනවත් ශිෂ්‍යයෙකුට ඉක්මනින් ණය ගෙවා නිදහස් වීමට ඉඩක් නැති සමාන සමාජ රාමුවක් යෝජනා කරයි. ශ‍්‍රී ලංකාවේ පුලූවන්කාර සමාජය ධනය වැය කර මෙරට හෝ පිටරට ඉගෙන ගනී. අඩුම තරමින් විනිවිද පෙනෙන ක‍්‍රමයක් හදා දේශීය පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති කළ යුතුය. ඒවායේ ගාස්තු හා පරිපාලනය නීථි වලට යටත් කළ හැකි අතර මුදල් ගෙවා ඉගෙන ගන්නට පසුබිමක් නැති කොටස තෝරා ගෙන අපහසුතාවයක් නැති පරිදි ඉගෙන ගන්නට පසුබිම සකස් කළ හැකිය. එය සමාන අවස්ථා හිමිවන සමාජයක් ගැන හිතන්නට නැඹුරු කරන ක‍්‍රමයකි. මාධ්‍යවල පළකරන දැන්වීම්, ඒවායේ ගාස්තු ක‍්‍රම ගැන අධ්‍යයනය කරන විට ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ අක‍්‍රමවත් හා වානිජ ස්වභාවය ගැන අලූතින් හිතන්නට අවශ්‍ය බව සඳහන් කළ යුතුය.

 

 

 

 

Advertisements