LOGO

2019/01/16 – ලංකාදීප

කාලගුණ වෙනස්කම් ගැන ප‍්‍රමාණාත්මක අවධානයක් යොමු කළ යුතුය. වැසි සහ වියලි ස්වභාවය හදිසියේ වෙනස් වෙයි. උණුසුම දරාගත නොහැකිය. පරිසරය කර්කශය. නමුත් හදිසියේ වැසි වැටේ. වැස්ස ලැබෙන කාල වකවානු වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් කාලගුණ වෙනස්කම් කෙරෙහි  ප‍්‍රබල බලපෑමක් ඇති කර තිබේ.

පොදුවේ මනුෂ්‍යයා ගේ බලපෑම හෙයින් පරිසරයට වන හානිය කොපමණ බරපතලදැයි පර්යේෂකයෝ ගණන් බලා ඇත. එයින් සැලකිය යුතු අදහසක් ලබාගත හැකිය. ලෝකයේ වයස අවුරුදු බිලියන 4.6 ක් යැයි සැලකේ. එය වසර 46 කට සීමා කළහොත් මානවයා ගේ බිහිවීම සිදුවී පැය හතරකට වඩා කල් ගත වී නැත. කර්මාන්ත යුගයක් ඇති කර පරිසරයට කරන ලද විනාශය මෙම පැය හතර තුළ එක විනාඩියක් පමණකි. මනුෂ්‍යයාගේ පැවැත්ම ලෝකයේ වනාන්තර සියයට පනහකින් වනසා තිබේ. අප ජීවත් වන පරිසරය ගැන හිතන්නට පැයක් දෙකක් වෙන්කරන්නට නොහැකි ඇයි? එය ජීවිත කාලයට පමණක් නොව අනාගත පැවැත්මට ද මහා මෙහෙවරක් වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනහිතකාමී සංවිධාන තමන්ට හැකි පමණින් නිහඩව පරිසරය ආරක්ෂා කරගැනීම අරමුණ ඇතිව නොයෙක් ක‍්‍රියාමාර්ග වල නිරතව ඇති බව ද මෙහි දී සඳහන් කළ යුතුය. පැල සිටුවීම ගැන රට තුළ විශාල ප‍්‍රචාරයක් තිබේ. ඉකුත් දස වසර තුළ සිටුවන ලද පැල නිසි පරිදි ලොකු මහත් වී නම් අද රට මහා වනාන්තරයකි. මාධ්‍යයට පෙන්වනු සඳහා මග දෙපස පැල සිටුවන දේශපාලනඥයෝ සිටිති. නිලධාරීහු පැල සිටුවීම ව්‍යාපෘති කරගෙන තිබේ. සිටුවන පැල නඩත්තු කරන්නට නිසි අවධානයක් යොමු කරන්නේ නැත. පොදුවේ රට පුරා පැල නඩත්තු කිරීම අරමුණු කරගෙන අලූත් වැඩ පිලිවෙලක් ඇරඹිය හැකි නම් වැදගත්ය.

අප‍්‍රිකාවේ දකුණු පැත්තේ පිහිටි මලාවි රාජ්‍යය නැවත වන වගාව කෙරෙහි අවතීර්ණ වීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් වී ඇත. සංවර්ධනය හෙයින් 2001 වසරේ සිට එරට වන වගාවෙන් සියයට දහයක් පමණ හානි කර තිබේ. එයර ජනී ජනයා අතරින් සියයට අසූවක් කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙති. එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි හතකට කෘෂි අංශය දායක වෙයි. එහෙයින් වන වගාවේ වැදගත්කම දැනෙන බව නිසැකය. ඉක්මනින් කැලෑව වගා කිරීමට ඔවුහු උණ ගස්  තෝරා ගෙන තිබේ. ගංගා, ඇල මාර්ගවල පමණක් නොව එළිකරන ලද කැලෑ ඉඩම් වල ද උණ පැල සිටුවීම අරඹා ඇත. වසර 2030 වන විට අක්කර මිලියන එකොලහක් වනාන්තර නැවත වගා කිරීම සැලැස්මයි. උණ ගස් තෝරා ගන්නේ ඇයි? ඒවා ඉක්මනින් වැඬේ. වසර සිය ගණනක් එක දිගට ගස් කපා ගනිමින් පවා උණ පදුර නඩත්තු කළ හැකිය. උණ ගස් වලින් කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කර වායු ගෝලයට සිදුකරන වාසිය කිසිදු අඩුවක් නැති බව අනාවරණය වෙයි.

පැල සිටුවන මෙරට අප සියළු දෙනා අතරින් උණ පැලයක් සිටුවා ඇති පිරිස අතලොස්සක් බව නිසැකය. ගංගා ඉවුරු ආශ‍්‍රිතව උණ පැල වගාකරන බව ප‍්‍රකාශ වූ නමුත් එහි ප‍්‍රගතියක් දැක ගත නොහැකිය. උණ ගස සෑහෙන ආර්ථික වටිනාකමක් ඇති විවිධ ප‍්‍රයෝජන ලබාගත හැකි ශාඛයකි. මෙරට ගංගා, ඇල මාර්ග ආශ‍්‍රිතව හා වැව් අවට කලාපයේ උණ පැල සිටුවිය නොහැකි මන්ද? එයින් ඉවුරු ආරක්ෂා වෙයි. අනෙක් පැලවර්ග මෙන් විශේෂ අවධානයකින්, නඩත්තුවකින් තොරව පදුරු වශයෙන් වේගයෙන් වර්ධනය වන අතර ඉක්මනින් ආදායමක් ද ලබා ගත හැකිය. උණ වගා කිරීමෙන් ලැබෙන වාසි මලාවි රාජ්‍යයෙන් අවධානයට ගත් අප‍්‍රිකානු රටවල් ගණනාවක් එහි නැඹුරු වී තිබේ.

ඉක්මනින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි බැවින් උණ ගස් ගැන සඳහන් කරන ලද බව දැක්විය යුතුය. පරිසරය ගැන තියුණු අවධානයක් ඇති, එහි වෙනස්කම් වලින් පීඩා විඳින රටක් වශයෙන් නැවත වන වගාව කෙරෙහි සෑම පුරවැසියෙකුම උනන්දු විය යුතුය. තමන්ගේ ඉඩමක පමණක් නොව ජීවත්වන ප‍්‍රදේශයේ ගංගා හෝ ඇල මාර්ග දෙපස උණ පැලයක් සිටුවුවහොත් එය වැඩදායකය.

 

Advertisements