milinda-prashna

2018/01/09 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වෙමින් තිබේ. වියපත් ජන කොටස සැලකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති අතර ඉදිරි වසර දහය තුළ එය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙනු ඇතැයි සැලකේ. වැඩිහිටි ජනගහනය බහුල සමාජයක පැවැත්ම වෙනස් ආකාරයක් ගනී. පොදු ප‍්‍රවාහනය හා සෞඛ්‍ය වැනි අංශ ගැන අලූතින් හිතන්නට සිදුවෙයි. ආදායමක් උපයන්නේ නැති කොටසක් වශයෙන් සැලකෙන හෙයින් සමාජ ප‍්‍රශ්න ඇති වෙන්නට බැරි නැත. වයස්ගත පිරිසට, පවතින සමාජ පරිවර්තනය තුළ අවස්ථා ඇති කරන්නේ කෙසේද? එය අවධානයට ගත යුතු වැදගත් කාරණයකි.

වයස් ගතවන විට මහන්සි වී වැඩ කරන හැකියාව අඩු වෙයි. අලස, අකර්මන්‍ය ජීවිත වලට නැඹුරු වෙන්නට ඉඩ තැබීම නුදුසුදුය. ලෝකයේ නොයෙක් රටවල ගැලපෙන අනන්‍ය ක‍්‍රම හදුන්වා දී තිබේ. ජීවිතයේ තුන් වැනි යාමයට ගැලපෙන උසස් අධ්‍යාපන ක‍්‍රම එයින් එකකි. එය අලූත් සංකල්පයක් නොවේ. ලෝකයේ නොයෙක් රටවල ක‍්‍රියාත්මක වෙයි. ප‍්‍රංශයෙන් ආරම්භ විය. පසුව යුරෝපයේ නොයෙක් රටවල් ප‍්‍රයෝජනයට ගත්තේය. බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රිය වී තිබේ. නොබෝදා චීනයෙන් අනාවරණය වූ තොරතුරු අනුව එරට ජනගහනයෙන් මිලියන අටක වැඩිහිටි ජනගහනයක් විශ්ව විද්‍යාල වල ඉගෙනගනිමින් සිටිති. අවුරුදු හැට ඉක්ම වූ සමස්ථ ජනගහනයෙන් සියයට තුනක පමණ පිරිසක් බව අනාවරණය වෙයි. වැඩිහිටියන්ට චීනයේ ෂැංහයි විශ්ව විද්‍යාලයේ සිසුන් ගේ සාමාන්‍ය වයස අවුරුදු 65-70 අතර බවව දැක්වෙයි. චීනය සිය තුන්වැනි යාමයේ විශ්ව විද්‍යාල පද්ධතිය බිහි කළේ කෘතහස්ථ සෙබළුන් වෙනුවෙනි. පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ද විවෘත කළේය. වර්තමානයේ රජයේ සේවකයන් ඇතුළු සෑම තරාතිරමකම වැඩිහිටියෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.

සැඳෑ සමය ගත කරන වැඩිහිටියෝ පසෙකට කළ යුතු නැත. වයස්ගත ජනගහනය වෙනුවෙන් රැක බලාගැනීමේ ස්ථාන, සෞඛ්‍ය හා ශාරීරික සුවතා මධ්‍යස්ථා අලූතින් ඇති කිරීම අවශ්‍යතාවයක් සේ සලකන ලද කාලයක් තිබුණි. තවමත් එය එසේ ම ය. උසස් අධ්‍යාපනයට නැඹුරු කරන වැඩ පිලිවෙල ද එයට ඇතුළු වී තිබේ. ජීවිතයේ අගභාගය හෙයින් නොසලකා හැරීම සුදුසු නැත. අත්දැකීම් සහිත, ඉගෙන ගැනීමට කාලය වෙන් කරන්නට හැකියාව තිබෙන පුරවැසියන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම කාලීන අවශ්‍යතාවයකි. විශ‍්‍රාම වයස අවුරුදු පනස් පහක් නමුත් අවුරුදු හැත්තෑවක්, අසූවක් හෝ එයටත් වඩා ජීවත්වන පුරවැසියන් එම ජීවිත කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම වැදගත්ය.

චීනයේ වැඩිහිටි උසස් අධ්‍යාපන විෂය පථය හුදෙක් අධ්‍යයනයට සීමා වී නැත. සංචාරය වෙනුවෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගැනීම එක විෂයයකි. අන්තර් ජාල වෙළඳාම, නර්තනය හෝ සංගීතය ඉගෙන ගැනීමට හැකිය. මෙම විශ්ව විද්‍යාල රජයේ අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යයි.  වැඩිහිටි සිසුන්ගෙන් සුළු සාමාජික ගාස්තුවක් අය කෙරේ. වසර 2020 වන විට චීනයේ සෑම දිස්ත‍්‍රික්කයකම වැඩිහිටියන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් ඇරඹීම චීනයේ ඉලක්කය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව ගේ උසස් අධ්‍යාපනය ගැන පුලූල් අවධානයක් යොමු නොකරන්නේ ඇයි? විවෘත විශ්ව විද්‍යාලය වැනි ආයතන බිහි කළේ අධ්‍යාපනය මග හැරුණ පිරිස වෙනුවෙනි. විශ්ව විද්‍යාල ආශ‍්‍රිතව ද ශ‍්‍රම අධ්‍යාපනය වැනි අංශ තිබේ. නමුත් මෙම ඒකක තරුණන් ගේ අධ්‍යාපන පාඨමාලා වලට නතු වී ඇත. ඒවායේ ඉගෙන ගන්නේ තරුණ තරුණියෝ ය. එම විශ්ව විද්‍යාල වල අද පවතින සංකීර්ණ පසුබිම වැඩිහිටියෙකුට ඉගෙන ගන්නට පොළඹවන්නේ නැත. එයට හේතුව උසස් අධ්‍යාපනයේ පවතින උග‍්‍ර තරඟය බව දැක්විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. සැඳෑ කාලයේ ඉගෙන ගැනීම ප‍්‍රචලිත කළ යුතුය. අත්දැකීම් හා අධ්‍යයනය එකතු වූ විට ලැබෙන ප‍්‍රගතිය වෙනස් එකකි. ජීවිතයේ අග භාගයේ ආකල්ප වෙනස් විය හැකි අතර නිෂ්පාදනයට දායක වන තොරතුරු තාක්ෂණ අවස්ථා වලට යොමුවීම ආර්ථිකයට ද වැඩදායක වියහැකිය.

Advertisements