milinda-prashna

2018/11/14 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් පාලන ක‍්‍රමයකි. සමාජ දියුණු වන විට එයට තවත් විචිත‍්‍ර අංග එකතු වන අතර ඒවා මගින් පාලන ව්‍යුහය තවදුරටත් විනිවිද පෙනෙන ස්වභාවයකට පත් කරයි. නමුත් මෑත භාගය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ගැටළු සහගත තැනකට පත් විය. විශේෂයෙන් ජනතාවගේ ඡන්දයෙක් බලයට පත් වන මැති ඇමැතිවරු හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ජනතාව අතිශය කලකිරීමට පත්වූහ. එයට හේතුව කුමක්ද?  මහජන නියෝජිතයන්ගේ ‘‘වටිනාකම්’’ අභිබවා ‘‘මිලක්’’ මතුවීමය. ඉතාම නරක තත්ත්වයකි. මහජන නියෝජිතයන්ට වටිනාකම් තිබිය යුතුය. නායකත්ව ගුණාංග, ජනතාව වෙනුවෙන් සේවයට කැපවීම, රටේ පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියාකිරීම යනාදී වශයෙනි. පුද්ගලික චරිත ලක්ෂණ ද වැදගත්ය. වටිනාකමක් ඇති උසස් පුද්ගලයෝ බවට පිලිගැනෙති. සමාජ ගෞරවය දිනාගත හැකි වන අතර ඔවුහු විශාල පෞර්ෂයක් සහිත අනගිභවනීය මහජන නියෝජිතයෝ බව අවිවාදිතය.

මහජන ගෞරවය වෙනුවට තාවකාලික ජනප‍්‍රියත්වය වෙනුවෙන් ක‍්‍රියා කිරීම මෑත කාලය තුළ මෙරට දේශපාලනයේ දැකගත හැකි වූ තත්ත්වයකි. සංකීර්ණ මැතිවරණ ක‍්‍රමය හා එයින් නිර්මාණය කරනලද බල ව්‍යුහයේ විකෘතිය ඔස්සේ ජනතා නියෝජිතයෝ මිල කළ හැකි තැනට පත්ව තිබේ. එය වෙන්දේසියකි. පක්ෂ මාරු කරන එයින් ආණ්ඩු බලය වෙනස් කරන්නට හේතුවන අවස්ථා වල දී මැති ඇමැතිවරු ‘‘සල්ලි මලූ’’ වශයෙන් සලකන බව පෙනේ. තමන්ගෙන් ඡන්දය ඉල්ලන්නට එන අවස්ථාවේ දී එය වෙන්දේසි කරන බව ප‍්‍රකාශ කරන තරමට පොදු ජනතාව මෙකී වාතාවරණය ප‍්‍රතික්ෂේප කළහ. නමුත් අද වන විට දේශපාලනය හා දේශපාලනඥ පිරිහී ජනතාවගේ ඇනුම්පද වලට ගොදුරු වී සිටී. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට වසර හැත්තෑවක අත්දැකීම් ඇත. ගත වූ දශක හත තුළ පැවැත්ම ගුණාත්මක අතින් නංවනු සඳහා නොයෙක් සංශෝධන හදුන්වා දී තිබේ. ඒවායෙන් ලැබුණ හොඳ නරක ප‍්‍රශ්න කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇත. ඡුන්දයෙන් තෝරා පාර්ලිමේන්තුවට යවන නියෝජිතයන් පුරවැසියන්ට එපා වීම එහි දරුණුම තත්ත්වයයි. ධනයට හා බලයට ඇති කෑදරකම පුරවැසියන්ට ප‍්‍රශ්නයක් වී තිබේ. මහජන නියෝජිතයන් හැසිරෙන අන්දම තිත්ත වී ඇත.  ජනතා නියෝජනයේ ප‍්‍රමිති අගාධයට ගමන් කර ඇති බව ඉතාම පැහැදිලිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර දේශපානයේ හරය හා එහි වටිනාකම් නැවතත් නිර්මාණය කිරීම අප සියළු දෙනාගේම වගකීමකි. තිරයෙන් එපිට සිට විවේචන කිරීම වෙනුවට බුද්ධිමත්, තරුණ රට ගැන කැකැකුමක් ඇති පිරිස ඉදිරියට පැමිණ මෙම කණගාටුදායක තත්ත්වය වෙනස් කිරීමට සැබෑ සංවාදයක් ඇරඹිය යුතුය.  ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ එක රාමුවකි. බලය ඇති පාලකයෝ තමන්ට ගැලපෙන පරිදි එය සංශෝධනය කර ඇති අතර ව්‍යවස්ථාව යනු අවස්ථාවාදී ලියැවිල්ලක් බවට පත්ව තිබේ. දේශපාලනඥයෝ එහි වගන්ති විග‍්‍රහ කරන්නේ බලය අත්පත් කර ගැනීමට විනා බලය බෙදා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්නට නොවේ. මෑත කාලය තුළ දේශපාලන පක්ෂ, දේශපාලනඥයන් ක‍්‍රියා කරන ලද ආකාරය එයට හොඳ සාක්ෂියකි. මෙමපැවැතිම වෙනස් කර යහපත් දේශපාලනසංස්කෘතියක් බිහි කිරීමට නම් අලූත් ජවයකින් යුතු පිරිස ප‍්‍රවාහය හා එකතුවීම අවශ්‍යය. එය යුක්ති ගරුක පාලනය ව්‍යුහයක් උදෙසා වටිනාකම් නැවත ඇති කිරීමක් වනු ඇත.

 

 

Advertisements