milinda-prashna

2018/10/31 – ලංකාදීප

ක‍්‍රීඩා පිටියේ දී ජවන හා පිටිය තරඟ ඉසව් තිබේ. එතැන තරඟය ඇත. අධ්‍යාපනය සඳහා තරඟ වදින තැන පාසල නොවේ. පාසලේ දී ඉගෙන ගත යුතුය. පවතින දැනුම අධ්‍යයනය කළ යුතු අතර අලූත් දැනුම නිෂ්පාදනය කළ යුතුය. එය ඉගෙන ගන්නා දරුවන්ගේ වගකීමකි. තරඟයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම හා පාසලට නිසි පහසුකම් සැලසීමට ආණ්ඩු සමත් විය යුතුය.

සිංගප්පූරුව අධ්‍යාපනය අතින් ඉහළම ශ්‍රේණියේ පවතින රටකි. පාසල් අධ්‍යාපනයේ තත්ත්වය උසස්ය. නිසි ප‍්‍රමිති තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන මට්ටම අගැයීමට ලක් කරන ජාත්‍යන්තර වැඩසටහනකට අනුව 2016 වසරේ අධ්‍යාපනයේ මට්ටම අතින් ඉහළින්ම පසුවන රට වශයෙන් සිංගප්පූරුව නම් කර තිබේ. විද්‍යාව, භාෂාව හා ගණිතය යන අංශ වල සිසුහු දක්වන ප‍්‍රගතිය එහි දී ශ්‍රේණිගත කෙරේ. හොංකොං, ජපානය, ස්වීඩන් හා ඇමරිකාව යන රටවල් සිංගප්පූරුවට පිටුපසින් පසුවන බව දැක්වේ. අධ්‍යාපන මටට්මේ ඉහළින් සිටින සිංගප්පූරුව විභාග ක‍්‍රමය අත්හරින්නට තීරණය කර තිබේ. ආරම්භක පියවර වශයෙන් 2019 වසරේ සිට ප‍්‍රාථමික, පළමු හා දෙවන වසර වල දරුවන්ට විභාග පැවැත්වෙන්නේ නැත. එය එරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශේෂ තීරණයකි. ප‍්‍රශ්න වලට උත්තර ලියා ඒවායේ ලකුණු අනුව වැනියා නම් කර ඉහළ පංතියට සමත් කිරීමේ ක‍්‍රමය අහෝසි කරනු ඇත.

විභාග නොපවත්වන සිංගප්පූරු අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රාථමික සිසුන් තරඟකාරීත්වයෙන් තොර අධ්‍යාපනයකට යොමු කරන අතර ‘‘ඉගෙන ගැනීම තරඟයක් බවට පත් කළ යුතු නැති බව’’ එරට අධ්‍යාපන බලධාරීහු ප‍්‍රකාශයට පත් කර තිබේ. වසර 2023 වන විට සිංගප්පූරුවේ අධ්‍යාපනය නිදහස් එකක් වනු ඇති අතර පංතිකාමරයේ ඉගැන්වීම වෙනුවට රට තුළ පවතින ආර්ථික හා සමාජ පසුබිම අනුව අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාව ඇති කරන්නට පියවර ගැනෙනු ඇත. දරුවන්ගේ සිතැඟි හා ආවේනික දක්ෂතා අනුව ක‍්‍රීඩා, කලාව හෝ කර්මාන්ත ඉලක්ක කරගත් අධ්‍යාපනය තෝරා ගත හැකිය. පරිගනක, රොබෝ තාක්ෂණය හෝ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට අවස්ථාව තිබේ. මාර්ගෝපදේශකයන් සමග එකතු කළ විශේෂ වැඩ පිලිවෙලක් අනුව වෛද්‍ය, සිවිල් සේවා හෝ බැංකු වල සේවය කිරීම වැනි මෙතෙක් පැවැති සම්ප‍්‍රදායික අරමුණු වලින් දරුවන් නිහවල් කරනු ඇත.

නූතන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ වලින් අපේක්ෂා කරන අරමුණ තේරුම් ගැනීම වැදගත්ය. ජාත්‍යන්තරයේ ඉලක්ක හදුනා ගැනීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් ගතානුගතිකය. පාසල් අධ්‍යාපනයට සමාන්තරව අතිරේක පන්ති නොඑසේනම් ටියුෂන් විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. එයට හේතුව බලවත් තරඟය බව නොරහසකි. තරඟයෙන් ජය ගැනීමට සෑහෙන මහන්සි විය යුතු අතර විවේකය, විනෝදාංශය වෙනුවෙන් නැඹුරුවක් නැති විෂය සිද්ධාන්ත කටපාඩම් කරන ශිෂ්‍ය ප‍්‍රජාවක් මෙරට සිටී. ඉගෙන ගැනීම අවසන් කරන දරුවෝ රැකී රක්ෂා ඉල්ලා ආණ්ඩුවලට බල කරන ස්වභාවයක් පවතී. මෙම අධ්‍යාපන ක‍්‍රමයෙන් අනාගතය සාක්ෂාත් කරගත හැකි යැයි විශ්වාසයක් ජන සමාජය තුළ නැත.

අධ්‍යාපනය නිදහස් බව ප‍්‍රකාශ වන නමුත් එහි නිදහසක් තිබේද? පවතින ස්වභාවය ප‍්‍රශ්න කරන්නට කාලය උදා වී ඇත. බාල වියේ සිට දරුවන්ට වඩා දෙමාපියන් කැපවන ඉගෙන ගැනීමේ ක‍්‍රමය අවසානයේ දී රටට බිහිකරන ප‍්‍රතිඵලය ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. ජාත්‍යන්තරයේ සිදුවන නව ප‍්‍රවණතා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. රටට ගැලපෙන, රටේ ඇතිවන වෘත්තීය අවශ්‍යතා පදනම් කරගෙන ඒවාට සුදුසු පුහුණු බුද්ධිමත් පරපුරක් බිහි කරන්නට මෙරට අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතු බව පැහැදිලිය. තරඟය තුරන් කර ඉගෙනුමට මග පාදන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම සුදුසුය.

 

 

Advertisements