milinda-prashna

2018/10/17 – ලංකාදීප

අවංක උත්තරයක් අවශ්‍ය වැදගත් ප‍්‍රශ්නයක් මතු කළ යුතුව ඇත. අපට රට ගැන කැක්කුමක් අපට තිබේද? ‘‘ නැත’’ යන උත්තරය අසාධාරණ එකකි. අගය කළ යුතු විශිෂ්ඨ ජන කොටසකට රට ඉහළින් තැබීමේ අප‍්‍රමාණ උවමනාවක් තිබේ. නමුත් අවාසනාවකට බහුතරයකට එකී අවශ්‍යතාව නැත. රට ගැන හැඟීමක්, කැක්කුමක් නැති පරපුරකින් අනාගතය දෙස බලන්නේ කෙසේද? රට ගැන ඇති කැක්කුම වශයෙන් අදහස් කරන්නේ පටු ජාතිවාදය නොවේ. සැබෑ ජාතිකත්වයයි. ශ‍්‍රී ලාංකිකත්වය, එහි අභිමානය වෙනුවෙන් මුළු හදවතින්ම සේවය කිරීමයි.

පසුගිය වකවානුවේ පැවැති ගැටුම් හෙයින් බෙදුණු, බිදුණු සමාජයක් යළි නගාසිටුවන යුගයක් ශ‍්‍රී ලංකාව පසු කරමින් සිටී. සංහිඳීයාව යන වචනයෙන් විශාල කාර්ය භාරයක් අපේක්ෂා කරයි. එහෙත් එය ක‍්‍රියාවට නගන්නේ කෙසේ ද යන කාරණාව ගැන පුලූල් සාකච්ඡාවක් රටට නැත. වැඩ පිලිවෙල ගැන ද නොයෙක් විවේචන තිබේ. ජාති, ආගම්,  භාෂා, පන්ති බේධ තුරන් කර රට එකමුතු කරන්නේ කෙසේද? රට ගැන කැක්කුමක් ඇති පරපුරක් බිහි කරන සැලැස්ම කුමක්ද? අලූතින් හිතන්නට අවශ්‍යය.

ජාත්‍යන්තරයෙන් අත්දැකීම් උකහා ගත හැකිය. ජර්මන් පෙඩරල් සමූහාණ්ඩුවේ අලූත් තීරණය එයින් එකකි. අනිවාර්ය ජාතික සේවය නැවතත් ආරම්භ කිරීමට කර තිබේ. වසර පනහකට වැඩි කාලයක් තිස්සේ අනිවාර්ය ජාතික සේවය එරට ක‍්‍රියාත්මක විය. නමුත් 2011 දී එය නතර කළේය. ආණ්ඩු පක්ෂය නැවත අනිවාර්ය ජාතික සේවය ආරම්භ කරන ලෙස යෝජනා කර ඇත. එම අදහසට සෑහෙන සහායක් පළ වී තිබේ. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහා සියළුම දරුවන් එක අවුරුද්දක ජාතික සේවා වැඩ සටහනකට සම්බන්ධ විය යුතුය. පුරවැසියන් පමණක් නොව සංක‍්‍රමණිකයන්ට ද එය අදාලය. උස් පහත් බේධයක් නැති අතර රාජ්‍ය පාලකයන්ගේ මෙන්ම පහලම වෘත්තියේ නිරත අයගේ දරුවන් ද එකට එක අවුරුද්දක් ගත කළ යුතුය.

රට හමුදා සේවයකි. පුහුණුවක් ලැබේ. එයින් විනය ගොඩ නැගේ. අනිවාර්ය සේවා කාලය තුළ පොදු වැඩසටහන් හි නිතර වෙති. වැඩිහිටියන් රැක බලාගැනීම, අනාථ කඳවුරු හා රෝහල් වල ස්වේච්ඡාවෙන් සේවය කිරීමට නියම වෙයි. පොදු වැඩ වල නිරත වන අතරවාරයේ හදිසි ආපදා තත්ත්වයක් උද්ගතවුවහොත් එතැන සත්කාරක සේවා වලට ද සම්බන්ධවීම අනිවාර්ය වගකීමකි. පුහුණුවෙන් පසු අත්දැකීම් සහිත පුරවැසියෙකු රටට ලැබේ. ඔහුට රට ගැන හැඟීමක් ඇති අතර සමාජයේ සැම පැලැන්තියකම කොටස් එකට මිශ‍්‍ර වන හෙයින් හැබෑ සංහිඳීයාව ගොඩ නැගේ. ජර්මනිය නතර කරන ලද තැනින් ආපසු ගමන අරඹන්නට තීරණය කිරීමට හේතුව එහි වැදගත්කම අවබෝධ කර ගත් හෙයින් බව තේරුම් ගත යුතුය.

ශ‍්‍රී ලංකාවේ දරුවන්ට ඉහළම පාසල් සොයන තියුණු තරඟයක් ඇයි? අධ්‍යාපනයෙන් දුර්වල වුවත් ඉහළ පැලැන්තියේ සමාජ වටපිටාවක් දරුවාට උපයා ගත හැකි බව දෙමාපියෝ සිතති. බේධ හැදෙන්නේ එතැනින්ය. බේධ දුරු කරන සැලසුම් අපට නොතිබුණා නොවේ. ශිෂ්‍ය භට සේවා ප‍්‍රකටය. බාලදක්ෂ සේවාව තවත් එකකි. පරිසර නියමු වැඩසටහන්, විවාද, කලා හා සාහිත්‍ය සමිති වැඩසටහන් ද නම් කළ හැකිය. එහෙත් අද වන විට පාසල් දරුවෝ බාහිර ක‍්‍රියාකාරකම්වලට උනන්දුවක් නැත. පත පොත, අතිරේක පන්ති ඇතුළු විෂයානුබද්ධ දේ වලට පමණක් සීමා වී සිටී. පාසල් වියේ දී සමාජය ගැන දැනගන්නට හෝ විනයක් හැදෙන්නට මේවාට යොමුවන දරු දැරියෝ ඉතාම සීමිතය. අඩුම තරමින් දහම් පාසල් අධ්‍යාපනයට හෝ නැඹුරුව සීමිතය.

රටක් එකමුතු කරන්නේ කෙසේද? මාධ්‍ය වලින් හෝ කතා පැවැත්වීමෙන් පමණක් බැඳීම් ගොඩ නැගෙන්නේ නැත. රට ගැන කැක්කුමක් ඇති ප‍්‍රජාවක් බිහි නොවේ. ජාතිකත්වය තහවුරු නොවේ. ඒ වෙනුවට පටු ජාති ආලය ඇති වෙයි. රටත්, නායකයනුත්, රටේ අනන්‍යතාවයක් උපහාසයට ලක් කෙරේ. මෑත කාලය තුළ එවැනි සිද්ධි විශාල වශයෙන් වාර්තා විය. අනිවාර්ය ජාතික සේවය ඇති කිරීම ගැන රට තුළ අදහස් වරින් වර පැණ නැගිණ. නමුත් එයට විශාල වියදමක් කරන්නට සිදුවෙයි. සමාජය එකතු වී ආණ්ඩුව හා පුද්ගලික අංශය සම්බන්ධ වුවහොත් අපහසු නැත. අනිවාර්ය ජාතික සේවය සංකල්පයක් වශයෙන් ගෙන රටට උචිත වැඩ සටහනක් නිර්මාණය කර ගැනීමට බැරිකමක් නැත.

Advertisements