milinda-prashna

2018/09/19 – ලංකාදීප

මසක් මාලූවක් රහට නැත්නම් වේලක් අනුභව කරන්නට අපහසු පිරිසක් සිටී. ආහාර වේලක තිබිය යුතු යැයි හිතන පිරිසට උත්තරයක් ජාත්‍යන්තරයෙන් ලැබී තිබේ. කාර්යාල වැඩ කටයුතු පොදුවේ බෙදා ගන්නා ජාත්‍යන්තර නව සංකල්පයක් අනුව පිහිටුවන ලද සමාගමක් එහි රටවල් විසි දෙකක ගනුදෙනුකරුවන්ට සපයන කෑම පාර්සල් වලට මස් ඇතුලත් නොකිරීමට තීරණය කර තිබේ. හය දහසක් වන කාර්ය මණ්ඩලයට ‘‘පරිසරය උදෙසා මස් තහනමක් යනුවෙන්’’ එම පණිවුඩය නිකුත් කර ඇත.

සත්ව පාලනය යනු ගෝලීය උණුසුම ඉහළ නැගීමට බලපාන එක හේතුවක් බව පාරිසරික විද්‍යාඥයින් අනාවරණය කර තිබේ. ලෝකයේ උණුසුම ඉහළ යන ප‍්‍රතිශතයෙන් සියයට දහ හතරක් සත්ව ගොවිපොල වල සතුන් රැකබලාගැනීමේ හා ආහාර සැපයීමේ කාර්යය අතරතුර සිදුවන බව එම වාර්තාව පෙන්වා දී ඇත. මස් භාවිතය නතර කළහොත් එය ලෝකයට යහපතක් බව ‘‘We Work’’ නමැති මෙම ආයතනය ජගත් ප‍්‍රජාවට නිවේදනය කර සිටිති.

පර්යේෂකයන් පෙන්වන අන්දමට ලෝක වාසීන්ගේ ආහාර අවශතා වලින් සියයට තිස් හතක ප‍්‍රතිශතයක් මස් ආහාර වලින් සැපයෙන නමුත් එය වෙනුවෙන් කෘෂි ඉඩම් වලින් තුනෙන් එකක් වෙන් කෙරී ඇත. ගෝලීය උණුසුමට වන බලපෑම් වලින් තුනෙන් දෙකක හානියක් සිදුවන්නේ සත්ව ආහාර සඳහා කරන කෘෂි නිෂ්පාදනයේ දී  බව ද ඔප්පු වී තිබේ. ආහාර පිණිස ගවයන් ඇති කිරීම ද බලවත් බලපෑමක් සිදුවෙයි. මස් වෙනුවෙන් ඇතිකරන ගවයන් ප‍්‍රමාණය රටවල ජනගහනය හා සමාන කළහොත් චීනය හා ඇමරිකාවට පසු තෙවැනි විශාලම ස්ථානය ලබාගෙන ඇති සේ සැලකෙයි. සත්ව පාලනයෙන් ගෝලීය උණුසුමට කරන බලපෑම ලෝකයේ විශාලතම තෙල් සමාගම් වලින් ගෝලීය උණුසුමට කරන ප‍්‍රමාණයට වඩා වැඩි බව ද ප‍්‍රකාශ වී ඇත. ලෝකයේ ප‍්‍රධාන සත්ව පාලන හා කිරි නිෂ්පාදන සමාගම් විස්සක් ගෝලීය උණුසුමට කරන බලපෑම ජර්මනිය හා බි‍්‍රතාන්‍ය වැනි රටවල් කරන තර්ජනයට වඩා වැඩි බව ද පර්යේෂකයන් අනාවරණය කර ඇති සාධකයකි. මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට තිරිඟු වැනි ධාන්‍ය කිලෝ විසි පහක් අවශ්‍ය වන අතර දළ වශයෙන් ජලය ලීටර් පහලොස් දහසක් වියදම් කරන බව ද ප‍්‍රකාශ වන සැලකිය යුතු කරුණකි.

පරිසරවේදීන්, පර්යේෂකයන් හා ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්නට වෙහෙස වෙන පිරිස් ලෝකයේ ආහාර හිඟය ගැන පමණක් නොව කුසගිනි නිවාගන්නට ආහාර  නිපදවා ගන්නා ආකාරය හෙයින් ඇති කරන අතුරු විපාක ගැන නොයෙක් මත ඉදිරිපත් කර තිබේ. මෙම අදහස් වලින් අලූත් අදහස් ගැන හිතන ජන කණ්ඩායම් තමන්ට කළ හැකි යම් සුළු පියවරක් හෝ අනුගමනය කරමින් සිටිති. කෑම වේලට මස් ප‍්‍රතික්ෂේප කිරීම එක පියවරක් වශයෙන් ඉදිඑියට තබන්නට මුලින් සඳහන් කරන ලද සමාගම උත්සාහ කරන බව පෙනේ.

ලෝකයේ සියළුම දෙනා වසර 2050 වන විට සත්ව නිර්මාංශ වුවහොත් සත්ව ආහාර නිෂ්පාදනයෙන් වායුගෝලයේ උණුසුමට සිදුවන බලපෑම සියයට හැටකින් අවම කරගත හැකි අතර කිරි බිත්තර වැනි කිසිම සත්ව ආහාරයකින් තොර වුවහොත් කෘතීම සත්ව පාලනය අවලංගු වන බැවින් එකී අංශයෙන් උෂ්ණත්ව ඉහළයාම සියයට හැත්තෑවකින් පහතට වැටේ.

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පමණක් නොව අනෙක් ආගම්වල පිරිස අතරින් ද කිසියම් ප‍්‍රතිශතයක් සත්ව ආහාර ප‍්‍රතික්ෂේප කරන බව සඳහන් කළ හැකිය. ප‍්‍රාන ඝාතනය ගැන සලකා අනුභවය නොකරන නමුත් ලෝකයේ මත පැවැත්මට එයින් වන දායකත්වය සුළු නොවන බව තේරුම් ගැනීම වැදගත්ය. සත්ව ආහාර නිෂ්පාදන යාන්ත‍්‍රණය ගැන පර්යේෂණ වලින් හෙළිවන තොරතුරු පමණක් නොව ආගමික සංකල්ප ද මනුෂ්‍යයාගේ තිරසාර පැවැත්ම වෙනුවෙන් එකට බද්ධ වන අවස්ථාවක් වශයෙන් මෙම කාරණය නිරීක්ෂණය කළ හැකිය.

 

 

 

Advertisements