milinda-prashna

2018/09/12 – ලංකාදීප

නගරයේ ජීවත්වන ජන සමාජය ගහ කොළ වන සතුන් කෙරෙහි බලවත් ලැදියාවක සිටිති. පරිසරය හා සියළු ජීවීන් ගේ අයිතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින පිරිසක් ඒ අතර වෙති. නගරයෙන් බැහැර ජීවත්වන ජනී ජනයා වන සතුන් හා ගහ කොළ කෙරෙහි ඇල්මක් නැතැයි එයින් අදහස් නොකෙරේ.

ගැමියෝ සොබා දහමට අනුකූලව ස්වකීය පැවැත්ම කරගෙන ගිය අතර සොබා දහම සමග නොබිඳෙන සහජීවනයක් පවත්වාගෙන ගියහ. මෑත භාගය තුළ මිනිසුන් හා වන සතුන් අතර ගැටුම් බහුල වී තිබේ. එය සංවර්ධනයෙහි අනිටු විපාක වශයෙන් දක්වන්නට ඇතැම් පර්යේෂකයෝ යුහුසුළු වී ඇත. කැලෑ එළි පෙහෙළිකර වන සතුන් ගේ වාසස්ථාන මිනිස් ආක‍්‍රමණයට ලක්ව ඇත.

එයින් ඇති වී තිබෙන අර්බුදය කුමක්ද? වන අලි සමග අරගලයක් තිබේ. වල් ඌරන්, රිලවුන්, ඉත්තෑවන්, ගිරවුන්, දඩු ලේනුන් පමණක් නොව මොනරුන් සමග ද මෙරට වැසියන්ට ප‍්‍රශ්න මතු වී ඇත. මෙම සතුන් ගේ ගහනය ප‍්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇති අතර ගොවියන්ගේ වගා බිම් වලට කරන විනාශය බරපතල එකකි. ඉතා මහන්සියෙන් විශාල වියදමකින් කරන ගොවියා ගේ අස්වැන්න වන සතුන් ගේ හානිවලට ලක් වන අතර අලාභ දරාගත නොහැකි ගොවියෝ මෙකී සතුන් කෙරෙහි බලවත් වෛරයකින් පසුවන බව සැකයක් නැත. නගරබද ප‍්‍රදේශ වල පවා පොල් ගහක, පලතුරු ගහක හෝ ගෙවතු වගාවක් රිලවුන් හෝ ගිරවුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පහසු නැත. මයියොක්කා ගහක්, ගහල පැලයක් වවා ගන්නට නොහැකි තරමට ඉත්තෑවන් හා ඌරු මියන් බහුල බව ජනතාව මැසිවිලි  නගති. නීතියෙන් ආරක්ෂා කිරීම හේතුවෙන් ඇතැම් සත්ව ගහන විශාල වශයෙන් වර්ධනය වී ඇති බව පිලිගත යුතුය. වන සතුන් ගේ ප‍්‍රමාණය පාලනය කරන යම් ආකාරයක ක‍්‍රමයක් ඇති නොකළහොත් මෙරට ආහාර භෝග වලින් සෑහෙන කොටසක් වන සතුන් විනාශ කරන අතර යමක් වගා කර එහි අස්වැන්න භුක්ති විඳින ස්වභාවය සීමා වෙන්නට ඉඩ තිබේ. එය වර්තමානයේ පිරිහී ඇති කෘෂිකර්මය තවත් නරක පැත්තට හරවන්නකි.

ඇතැම් සතුන් දඩයම් කිරීමට ඇති තහනම ඉවත් නොකරන්නේ ඇයි? එයින් යම් පානලනයක් ඇති කළ හැකිය දඩයම ශ‍්‍රී ලංකාවේ වැසියන්ගේ උරුමයෙහි කොටසකි. ඉතිහාසයේ සිට ගහ කොළ වන සතුන් සමග පැවැති අලිඛිත එකඟතාවක් තිබිණ. එය වෙනස් කරන්නේ නීතියයි. අධිරාජ්‍යවාධීහු නීති පැනවූහ. පොදු ජනතාවට බාධා කළ බටහිර පාලකයෝ ඔවුන්ගේ දඩ කෙළි නතර කළේ නැත. එම රාමුව අදටත් ක‍්‍රියාත්මකය. අපට අනන්‍ය නොවූ අණ පනත් නිසා මෙරට වල් ඌරු ගහනය අසීමාන්තික පසුබිමක තිබියදී විනිමය වැය කරමින් තරු හෝටල් ඌරු මස් පිටරටින් ආනයනය කෙරේ. ඒවා මෙරට බහුලව අලෙවි වන බව සඳහන් කළ යුතුය. ලෝකයේ නොයෙක් රටවල් සීමාවක් සහිත දඩයම නීත්‍යානුකූල කර තිබේ. කාල වකවානු නියම කර ඇති අතර වෙළඳාම තහනම් කර ඇත. එම දඩයම පුද්ගලික ප‍්‍රයෝජනය සඳහා පමණක් දක්වා තිබේ. බෞද්ධ ධර්මය අනුව පර පණ නැසීම පාපයක් වන නමුත් පාපකර්මයක් සේ නොසලකන යමෙකු ඇත්නම් එහි නියැලෙන්නට නිදහස තිබිය යුතුය. සතුන් බෝ නොවන කාල සීමා වෙන්කර දඩයම සඳහා ප‍්‍රමාණාත්මක නිදහසක් ප‍්‍රකාශයට පත් කිරීම සුදුසුය.

දඩයම ගැන ප‍්‍රසිද්ධියේ කතා කිරීම මෙරට සත්ව හිංසනය, පරිසර ආරක්ෂාව ගැන අවධානයෙන් ඇති බොහෝ දෙනෙකුගේ විරෝධය අවුලූවන්නකි. නමුත් හැබෑ වේදනාව දන්නේ සීමාව ඉක්මවා වර්ධනය වී ඇති ඇතැම් වන සතුන්ගෙන් විපත් වලට මුහුණණ දෙන අහිංසක ජනී ජනයාය. දඩයම ගැන ප‍්‍රතිපත්ති වෙනස් කිරීමකට කලින් ජනමතය විමසා බැලිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එයයි. ලෝකයේ දියුණු රටවල් අලූත් අදහසක් ක‍්‍රියාවට නගන්නේ ජනතා අදහස් විමසීමෙන් ඉනික්බිතිවය. පාලනයක් සහිත දඩයමට ඉඩ දීම ගැන විවෘතව පොදු ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සුදුසුය.

Advertisements