milinda-prashna
2018/08/29 – ලංකාදීප

බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම

පැරණි ඉතිහාසයක් ඇති සමාජ වල සම්ප‍්‍රදායික ලක්ෂණ තිබේ. එයින් කොටසක් ගරු කළ යුතු ගති ලක්ෂණ සේ සැලකිය හැකිය. ගතානුගතික දේවල් ද පවතී. භාෂාව ආගම සහ සංස්කෘතික ලක්ෂණ අනුව මේවා සමාජ පැවැත්මට එකතු වී තිබේ. අනන්‍යතාවය ගොඩනැගෙන්නේ මේවා පදනම් කරගෙනය. ආත්ම ශක්තිය ඇති කරන්නේ සහ ජන සමාජය තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ ද අනන්‍යතාවයෙන්ය.

ශ‍්‍රී ලංකාවේ ජන සමාජය මිශ‍්‍ර වූ එකකි. දීර්ඝ ඉතිහාසය තුළ බාහිරව පැමිණි ලක්ෂණ මගින් ආක‍්‍රමණ සිදුවී තිබේ. විජයාගමනයේ සිට විවිධ රටවල විවිධ ජාතී, ආගම්, භාෂා, සංස්කෘතීන් මෙරට සමාජයට එකතු වී මිශ‍්‍ර ඇත. ආක‍්‍රමණ වශයෙන් හෝ සාමකාමී දූත මෙහෙවරක් වශයෙන් හෝ පැමිණ මෙරට පැවැත්මට එකතු වූ දේ සම්බන්ධයෙන් ගැටළු තිබිය හැකිය. නවීන ලිබරල් අදහස් ඇති කණ්ඩායම් වරින් වර සම්ප‍්‍රදායික ගතානුගතික තැන් කලත්තන බව පෙනේ. සිංහල බෞද්ධ මහා සමාජය තුළ වරින් වර පැන නැගෙන අනන්‍යතා අර්බුදය එහි එක් කොටසකි.

සම්ප‍්‍රදායික රාමුව සතු සීමාව කුමක්ද යන්න පමණක් නොව එය සකස් වී ඇත්තේ කොපමණ වටිනාකම් ප‍්‍රමාණයකින් ද යන්න ගැන පැහැදිලි නිශ්චයක් රටට නැත. සම්ප‍්‍රදාය ඔස්සේ සමාජයට විනය හා ශික්ෂණය ගොඩනැගිණ. එවැනි පසුබිමක දී සම්ප‍්‍රදාය තුළ පවතින පිලිගැනීම්, විශ්වාස හෝ ක‍්‍රියාකාරකම් එකවර වෙනස් කළ නොහැකිය. ස්ථිරව වෙන් කළ නොහැකි අංශ සෑහෙන ප‍්‍රමාණයක් සම්ප‍්‍රදාය වශයෙන් විවිධ ජන කොටස් නඩත්තු කරන අතර ඒවා එකවර වෙනස් කිරීම විශාල සමාජ පිපිරීමකට හේතු විය හැකිය. එසේම ඒවා අතරින් යමක් වෙනස් විය යුතුයැයි නැගෙන සාධාරණ මත වලට පොදු පිලිගැනීමක් ඇති කර ගත යුතුය. පවතින සම්ප‍්‍රදායික ස්වභාවයට ලිබරල් මතවාදී අභියෝග එල්ල කිරීම පරෙස්සමෙන් කළ යුතු කාර්යයකි.

සම්ප‍්‍රදායික ලක්ෂණ හා ඒවා වෙනස් කරන්නට ප‍්‍රයත්න දරන ලිබරල් නවීනකාරකයන් අතර සම්ප‍්‍රදායික සමාජය අතර පුලූල් සංවාදයක් අවශ්‍යය. දේශපාලන ධාරව තුළ එවැනි සංවාදයකට ඉඩ නැත. බලය තහවුරු කරගැනීමට අරගලයක් කරගෙන යන  දේශපාලනඥයන්ට සමාජ අනන්‍යතාව වැදගත් එකක් නොවේ. එය පැහැදිලිව පෙනෙන කාරණයකි. සමාජ නායකයන් හා බුද්ධිමත් පිරිස තුළ ද කිසියම් මධ්‍යස්ථ සංවාදයක් ඇති බවක් පිලිබිඹු නොවේ. මැද මාවත එකම මග බව බුදු දහම පෙන්වා දී තිබේ. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබූ සමාජයට අන්තවාදී නොවී විවාදයක් කරගෙන යන්නට හැකියාවක් ලැබී නැත. එය බරපතල ගැටළුවකි. එවැනි අසමත් අවස්ථාවක ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරගැනීමට කරන සංවාදය පවා නිර්ථක එකක් බව සඳහන් කළ යුතුය.

පැරණි ඉතිහාස සහිත සම්ප‍්‍රදායික සමාජවල පවතින ගතානුගතික ලක්ෂණ බිඳදමා අලූත් ව්‍යුහ ගොඩනැගීම එකවර කරන්නට පුලූවන් කමක් නැත. මැද පෙරදිග හා යුරෝපා කලාපයේ රටවල කරන්නට ගිය එවැනි ලිබරල් වෙනස්කම් මගින් විශාල හානි වාර්තා වූ බව අමතක කළ යුතු නැත. ලිබරල් අදහස් තීරණ වලින් අනන්‍යතාවයට සිදුවූ හානි ගැන කල්පනා කරන සම්ප‍්‍රදායික සමාජ වල නොසන්සුන්තාවයන් පාලනය කිරීම අපහසු වී ඇති අතර ඒවා ලෝකයේ සාමාකාමී පැවැත්මට සහ ආර්ථික දියුණුවට බාධා ඇති කර තිබේ.

අනවශ්‍ය සම්ප‍්‍රදායික පැති අනාවරණය කර ඒවා  බැහැර කළ යුතු අතර එය කරන ආකාරය ගැන පොදු එකඟතාවය ඉතාම වැදගත්ය. බලපුලූවන්කාර භාවය පැත්තකින් තබා ආරක්ෂා කරගත යුතු ලක්ෂණ සොයා බැලිය යුතුය. සමාජයෙන් බැහැර කළ යුතු දේ ගැන එකඟතාවයකට පැමිණීම සුදුසුය. එම සංවාදය බුද්ධිමත්ව මෙහෙයවන්නේ කෙසේද යන ගැටළුව අප හමුවේ තිබේ. නවීකරණය ගැන අවධානය යොමු කළ යුතු අතර සම්ප‍්‍රදාය තුළ ලිබරල් ආකල්ප මුහුකරන්නේ කෙසේ ද යන්න ගැන හරවත් වාදයකින් තොරව කරගෙන යන වෙනස්කම් මගින් අලූත් ගැටුම් ඇතිකිරීම හැර රටට යහපත් අන් යමක් කරන්නේ නැත.

 

 

Advertisements