milinda-prashna

2018/08/08 – ලංකාදීප

අත දිගහැර ඵල නෙලාගන්නට තැත් කරන විට ඒවා අල්ලන්නට අපහසු වන තරමට ඔසවා තැබීම සාධාරණ නැත. ආණ්ඩුවේ වාහන බදු වැඩි කිරීමේ තීරණය එබඳුය. වාහනයක් මිල දී ගෙන අභිමානයෙන් ජීවත්වීමට උත්සාහ කරමින් සිටි මධ්‍යම පංතියේ පුරවැසියෝ විශාල පිරිසක් හදිසියේ වාහන ආනයන බදු නැංවීම ගැන කලකිරීමකට පත්ව ඇත. ජනතාවගේ සිතැඟි හදුනාගෙන ඒවා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමකි. නමුත් ජනතාවගේ වෛරය අවුලූවන තීරණ ගැනීමේ දී පරෙස්සම් විය යුතුය.

ජනතාවගේ තරහ ඇවිස්සෙන්නේ ඇයි? එයට හේතුවක් තිබේ. දේශපාලකයන්, නිලධාරීන් හා බලපත‍්‍ර හිමි සුළු පිරිස සුඛෝපභෝගී, අති විශාල මිලක් වැය වන වාහන ආනයනය කර පරිහරණය කරමින් සිටී. එසේ තිබිය දී සාමාන්‍ය වාහන වලට අධික බදු පනවා ඇත. එන්ජින් ධාරිතාව අශ්ව බල දහසකට අඩු වාහන වලට මෙතෙක් අය කළ බදු ප‍්‍රතිශතය  නැංවීම අනුව ඒවායේ මිල සෑහෙන ප‍්‍රමාණයකින් වැඩි වෙයි. ජනතා ඡන්දයෙන් බලයට පත් වී මහජන මුදලින් නඩත්තුවන අයවලූන් ජනතාවට බරක් විය යුතු නැත. වැටුප්, දීමනා, ආරක්ෂාව, නිල නිවාස, කාර්යාල හා ඒවායේ නිලධාරීන් සහ අති සුඛෝපභෝගී රථ වාහන හිමි පැලැන්තිය තමන්ගේ හදවතට තට්ටු කර සාවධාන විය යුතුය. දුප්පත් ජනතාවගෙන් එකතු කරගන්නා බදු වලින් සැපවත් ජීවිත ගත කිරීම සාධාරණද?

අඩු මිලකට තිබුණ, සාමාන්‍ය ජනතාවට මිල දී ගත හැකි කුඩා වාහන වල බදු වැඩි කළ ආණ්ඩුව එවැනි තීරණයක් ගත්තේ බලවත් විදේශ විනිමය අර්බුදය පාලනය කරගැනීමේ පියවරක් වශයෙන් බව දක්වා තිබේ. විනිමය හිඟ සහ ආනයන පාලනය කළ යුතු අවස්ථාවක පහත ඇති සිදුරු දෙස පමණක් සැලකීම සාධාරණ නැත.

සාමාන්‍ය ජනතාවගේ කුඩා වාහන වෙනුවට අධික මිල ගණන් වලින් යුතු වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීම අනුගමනය කළ යුතුව තිබුණ හොඳ තීරණයකි. එය පොදුවේ සියළුම දෙනාටම බලපාන පරිදි බලපවත්වන්නට නියම කළ හැකිය. විශාල වාසියක් නොලැබෙන නමුත් එය සමාජය අගය කරන සංකේතයක් වනු ඇත. ආනයන වියදම යම් ප‍්‍රමාණයකින් පාලනය කරගත හැකි වෙයි. තමන් උපයන ධනයෙන් වැඩි වියදම් වාහන ගෙන්වන, කර්මාන්තකරුවන් හෝ ව්‍යාපාරිකයන්ට එම තීරණයෙන් බලපෑමක් වෙන්නට බැරි නැත. පොහොසත් සමාජය පාවිච්චි කරන ඇතැම් වාහන වල මිල ආඩම්බරයකට හේතුවක් නොවේ. අපේ සමාජයේ දුප්පත් පසුබිම සලකන විට ලජ්ජාවට කරුණකි. ආනයන මිල, එක්තරා සීමාවක් දක්වා තාවකාලිකව පාලනය කිරීම  සමාජ ගෞරවය ඇති කරන එකක් වනු නිසැකය.

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ සමග සම්මුඛ සාකච්ඡාවක් කරමින් සිටි මාධ්‍යවේදියෙකු හදිසියේ තමන් ඉදිරියේ සිටි අගමැතිවරයා ඇඟ ලා සිටි කබාය ගැන ප‍්‍රශ්නයක් අසා ඇත. එය ලී ක්වාන් යූ අගමැතිවරයා ගැන ලියැවුණ කෘතියක සඳහන්ය. කබායේ අලූත් බවක් නොපෙණුන හෙයින් මාධ්‍යවේදියා එම ප‍්‍රශ්නය මතුකර තිබේ. ‘‘ මෙම කබාය මැසූ පුද්ගලයා වයසට ගිහින්, දැන් ජීවතුන් අතරත් නැහැ’’ මද සිනහවකට පසු අගමැතිවරයා උත්තර දී ඇත. අරපිරිමැස්ම ගැන කතාවක් එතැන තිබේ. ලී ක්වාන් යූ අගමැතිවරයා ධුරයට පත් වීමට කලින් භාවිතා කරමින් සිටි බෙන්ස් වාහනය විකුණා ආණ්ඩුවෙන් සාමාන්‍ය වාහනයක් පාවිච්චියට ගෙන ඇති බව ද ඔහුගේ පසුබිම් වාර්තා පරීක්ෂා කරන විට අනාවරණය වෙයි.

මැති ඇමැතිවරු ඉහළම මිලක් ඇති වාහන මිල දී ගෙන හමාරය. රජයේ නිලධාරීන් ඇතුළු බලපත‍්‍ර හිමි පිරිසට ද මිල අධික වාහන ආනයනය වෙනුවෙන් අවසර පත් නිකුත් කර අවසන්ය. සෑම ප‍්‍රධාන නගරයකම ඇති රථ වාහන අලෙවි සැල් වල සඳහා විකිණීම ප‍්‍රදර්ශනය කරන අති සුඛෝපභෝගී වාහන ප‍්‍රමාණය සලකන විට අධි වටිනාකමකින් යුතු වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමේ යෝජනාව කිසිම පලක් නැති එකක් බව පැහැදිලිය. සාමාන්‍ය වාහන වලට බදු පනවන ආණ්ඩුව පොදු ජනතාව ගේ බිදුණ සිත් සැනසීමේ පටු අරමුණ ඇතිව හෝ මිල අධික වාහන ආනයන තහනම් කිරීම කළ හැකිව තිබුණි.

Advertisements