milinda-prashna

2018/08/01 – ලංකාදීප

අද අප ජීවත් වෙන්නේ, වැටෙන බෙලිගෙඩියේ ශබ්ධයෙන් ද කලබල වී අහස කඩා වැටෙනවා යැයි දුවන්නට පටන්ගන්නා සමාජයකය. කලබල සිද්ධි එකින් එක පෙල ගැසේ. ඒවායේ ඇත්ත නැත්ත ගැන කිසිම වග විභාගයක් නැත. සියළු දෙනාම විශාල ඝෝෂාවක් නගමින් සිටින අතර එය බරපතල ප‍්‍රශ්නයකි. දිනපතාම එකිනෙකට වෙනස් වාද විවාද මතු වෙයි. ඒවායෙන් ආන්දෝලනයක් ඇති වන අතර දින කිහිපයක ඇවෑමෙන් ඒවා නිවී යයි. පොදු ජනතාවට ඇති හැබෑ ප‍්‍රශ්න යටපත් වෙමින් තිබේ. තොරතුරක් අහන්නට ලැබෙන සෑම අවස්ථාවකම සිද්ධිය ගැන සෑම පැත්තකින්ම හිතා බලා තීරණ ගැනිමට අප හුරු විය යුතුය. විද්‍යාර්ථීහු පර්යේෂණ ක‍්‍රමවේදය වශයෙන් හදුන්වන්නේ එයයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් ලෝකයේ සිදුවන මෙම නරක තත්ත්වය ගැන අවධානයෙන් සිටින්නට ඇති බව පෙනේ. නිසි තොරතුරු මත පදනම් නොවී තීරණ ගැනීමට නූතන සමාජය නැඹුරු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. ප‍්‍රකට දාර්ශනිකයෙකු වන හාන්ස් රොස්ලිං ලියන ලද ෆැක්ට්ෆුල්නස් Factfulness කෘතිය අලූත් පරපුරට කියවන්නට නැඹුරු කරන්නේ එහෙයින්ය. තමන් කියවන ලද ‘‘ඉතාමත් වැදගත් පොතක්’’ සේ එය හදුන්වන බිල් ගේට්ස් ඇමරිකානු විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා සෑම සිසු සිසුවියකටම එහි අන්තර්ජාල පිටපත සිය වියදමින් ලබා දෙන්නට කැමැත්ත පළ කර තිබේ.

මෙම කෘතිය කියැවිය යුතු ඇයි? අප හිතන තරමට ලෝකය නරක තැනක් නොවේ. ඒ බව ඔප්පු කරන්නට විකල්ප මතයක් එහි තිබේ. මෙම කෘතියට අනුව ලෝකයේ දුප්පත්කම අඩුවී තිබේ. නමුත් එය පිලිගැනීමට සමාජය කැමැති නැත. එන්නත්කරණය මගින් විශාල ජීවිත ප‍්‍රමාණයක් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්නට සමත්ව ඇත. එය සමාජය වැදගත් දෙයක් සේ නොසලකයි. ජීවිතාපේක්ෂාව වැඩිවී ඇති අතර ආයුකාලය වැඩිකරන්නට හේතුවන අන්දමට සෞඛ්‍ය සේවාව දියුණු වී ඇත. නමුත් අතීතයට වඩා අලූත් රෝග ව්‍යාප්ත වී ඇති අතර එය විශාල ප‍්‍රශ්නයක් බව ලෝකවාසීහු සිතති. මේවා හිතන්නේ පර්යේෂණාත්මකව නොවේ. තැනින් තැන කියැවෙන දේ අනුවය. එදාට වඩා ස්වභාවික විපත් වැඩි බව සාමාන්‍යයෙන් හිතන නමුත් එය ඇත්ත නොවන බව මෙම කෘතිය ඔප්පු කරයි. හදිසි අනතුරු පවා අතීතයට පවා අඩු බව ස්ථිරව සඳහන් කළ හැකි නමුත් සමාජය එය විශ්වාස නොකරන බව මෙම කෘතියේ දැක්වෙයි. යුද හා ගැටුම් බහුල වී ලෝකය විශාල විනාශයක බව වැඩිදෙනෙකු කියන නමුත් එය කිසිසේත් සත්‍යයක් නොවේ. ලෝකය දශක හත අටකට කලින් තිබුණ තත්ත්වයට වඩා සෑහෙන හොඳ සාමකාමී තැනක් වන අතර ගැටුම් වලින් ජීවිතක්ෂයට පත්වන පිරිස ඉතාමත් අඩු වී ඇති බව දක්වයි. මෙම කෘතිය දත්ත මත පදනම්කරගෙන නිගමනයට එළැඹීමේ වැදගත්කම පෙන්වා දී ඇත.

සිද්ධියක් ගැන මතු පිටින් ලැබෙන වාර්තා පදනම් කරගෙන නිගමන වලට එළැඹෙන වර්තමාන සමාජය එයින් ඉතාමත් කලබලයට පත්වෙයි. ජන සමාජය කලබලයකට පත්ව ඉක්මන් තීරණ ගන්නේ ඇයි? එක පැත්තකින් ජන ජීවිතය කාර්ය බහුල තත්ත්වයට පත්වීම විය හැකිය. අනෙක් පැත්තෙන් මාධ්‍ය භාවිතාව සම්බන්ධ ස්වභාවය විය හැකිය. අති විශාල මාධ්‍ය ප‍්‍රමාණයක් තරගකාරීව තොරතුර විකාශය කරන අතර සමාජ මාධ්‍ය මගින් කිසිම වග විභාගයකින් තොරව අහන, දකින දේ වාර්තා කරමින් සිටී. තොරතුරු සන්නිවේදනයේ තිබිය යුතු මූලික ගුණාංග යටපත් වී ඇති අතර කර්තෘවරයාගේ භූමිකාව ඉවත් වෙමින් තිබේ. එය නොයෙක් පිලිගත නොහැකි දේ ඇත්ත යැයි මවා පෙන්වන්නට උපකාරී වී ඇත. තොරතුරු මත පදනම්ව යමක් ගැන හිතා මතා තීන්දු ගන්නා සමාජ ව්‍යුහයක් ස්ථාපිත කර ගත යුතුය.  වාර්තාවන සිදුවීම් සම්බන්ධයෙන් නිගමනයකට එන්නට කලින් තමන් විසින්ම පර්යේෂණයක නිරතවීම වැදගත්ය. හාන්ස් රොස්ලිං ඇතුළු විද්වතුන් එය පෙන්වා දී තිබේ. බිල් ගේට්ස් වැනි සමාජ නායකයෝ එම අදහස් පතුරවන්නට මහන්සිවෙමින් සිටී. අප සියළු දෙනා මෙකී කාරණා අත්දැකීම් වශයෙන් ප‍්‍රයෝජනයට ගත යුතුය.

 

 

 

Advertisements