milinda-prashna

2018/07/25 – ලංකාදීප

දේශපාලනඥයන්ගේ මුදල් ගනුදෙනු ගැන හෙළිදරව් වන කරුණු වලින් ජන සමාජය විමතියට පත් වී තිබේ. එක සිද්ධියකින් විශාල අනාවරණයක් කරන විට අනෙක් දවසේ ඊටත් විශාල ආන්දෝලනයක් ප‍්‍රතිවාදියෙකු වෙත එල්ලවෙයි. එතැනින් මෙතැනින් කියැවෙන දේ අනුව සමස්ථ ව්‍යුහයම ජරාජීර්ණ වී ඇත. බලය ඇති සහ බලය නැති පාර්ශව දෙක අතර වැඩි වෙනසක් නැත. ජනතා නායකයෝ හොරු බව හෙළිදරව් කෙරේ. දුෂිතයෝ බව කියති. මහා පරිමාන වංචාකරුවන්ය. දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් අයථා අන්දමට ධනය උපයා ගෙන තිබේ. සිද්ධි ගැන පරීක්ෂණ මෙහයවන අතර විශේෂ අධිකරණ පවා ඇතිකර නඩු විභාග කරන සූදානමක් ඇත.

සෑම පැත්තකින්ම, සෑම දේශපාලනඥයෙකුටම පාහේ චෝදනා නැගෙන විට සිදුවන්නේ කුමක්ද? යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් මෙහි දී සඳහන් කළ හැකිය. යුදෙව් ජාතික කාන්තාවක වූ මද්දලාවේ මරියා ගල් ගසා මරා දැමීමට තිරණය වී තිබුණු බව බයිබලයේ කියැවෙයි. ‘‘පාපයක් කර නැති පුද්ගලයා පලමු ගල් පහර ගහන්න’’ ගල් අතැතිව සිටි ජනී ජනයාට යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ප‍්‍රකාශ කර ඇත. ජනයා අතර පාපයක් නොකළ කිසිවෙකු නොසිටි බව ඉතිහාසය වාර්තා කරයි. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින බරපතල තත්ත්වය එයට නොවෙනස්ය. යතාර්ථය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුය. පාපයක් නොකළ අය නැත. චෝදනා එල්ල කරන අය පිරිසිදු චරිත වශයෙන් දැක්විය හැකිද? චෝදනා එල්ල වූවෝ ඒවා පැත්තකින් තබා ප‍්‍රතිවාදීන්ට ගැරහීම සාධාරණද? මෙරට දේශපාලනඥයන්ගේ ජීවිත, පැවැත්ම සහ ඡන්ද දායකයන් සමග පවතින සම්බන්ධතා රහසක් නොවේ. දේශපාලනයේ දී ධනය හුවමාරු වන තරම ගැන ජනතාවට අවබෝධයක් ඇත. මහා ඝෝෂාවක් ඇති කර එක් අයෙකු හෝ දෙන්නෙකු තෝරා ගෙන විනාශ කිරීම සාධාරණ උත්තරයක්ද? පවතින ක‍්‍රමය නිවැරදි කරන්නට එයින් ලැබෙන පිටිවහල කුමක්ද?

සියළු දේශපාලනඥයෝ ආදායමට වඩා වියදම් කරති. මෙම මුදල් ලැබෙන්නේ කොතැනින්ද? මුදල් ඇති අය පමණක් දේශපාලනය කළ යුතු නැත. ඉඩම් හිමි, ධනවත් පුද්ගලයන් පමණක් දේශපාලනයට සිමා විය යුතු නැත. ඡන්දයකට මුදල් නැති අපේක්ෂකයන් අනුගමනය කරන ක‍්‍රම සාධාරණීකරනය කරන ක‍්‍රමවේදයක් රටට අවශ්‍යය. ලෝකයේ කොතැනක හෝ දේශපාලනඥයන්ගේ ගනුදෙනු යුක්ති සහගත කරන සැලැස්මක් නැත. නමුත් දේශපාලනඥයන්ගේ ආදායම හා වියදම ප‍්‍රසිද්ධ කර විනිවිද පෙනෙන දේශපාලනයකට මග හදුන්වා දෙන්නට යම් ප‍්‍රමාණයකට උත්සාහ කර තිබේ.

දේශපාලනඥයන්ට දුෂිතයන් යැයි චෝදනා කරන ජන සමාජය, දේශපාලනඥයන්, කොතැනකින් හෝ උපයා ගන්නා ධනය වියදම් කරන ආකාරය ඉවසීම ගැන ද ප‍්‍රශ්නයක් ඇත. පාක්ෂිකයන්ගේ මරණයට, මගුලට දේශපාලනඥයෝ වියදම් කරති. එහි පක්ෂ විපක්ෂ බේධයක් නැත. ජන දුක නිවන්නේ කීයක් හෝ අත මිට මෙලැවීමෙන්ය. ස්වභාවික විපත් අවස්ථාවක, ඡන්ද දායකයන්ට මොනවා හෝ රැගෙන එන්නේ ආසන්න දේශපාලනඥයාය. ප‍්‍රාදේශීය සභාව, පලාත් සභාව හෝ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු බෙදන්නේ කොතැනින් කෙසේ උපයා ගත් මුදල් දැයි නොදන්නා අතර කිසිවෙකු එම ආධාර කළු මුදල් යැයි ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. පෙලපාලි යන්නේ, රැස්වීම් සංවිධානය කරන්නේ ඒවාට අවශ්‍ය පෝස්ටර් බැනර් මුද්‍රණය කරන්නේ ද නොයෙක් මාර්ග වලින් හම්බ කරන ධනය බව දැක්විය යුතුය. මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ විට ජන මාධ්‍යයේ පළ කරන දැන්වීම් ප‍්‍රමාණය හා ඒවාට වියදම් කළ යුතු අති විශාල ධනය කිසිම අපේක්ෂකයෙකු ගේ සාධාරණ ඉපැයීම් නොවේ. දේශපාලනඥයන්ට ගල් ගහන්නට සූදානම් වන ජන සමාජයත්, ජන මාධ්‍යයත් මෙම පැති ගැන විශාල සංවාදයක් ඇරඹිය යුතුය. ධනය උපයා ගත් අන්දම විනිවිද පෙනෙන ක‍්‍රම දේශපාලනඥයන්ට හා දේශපාලන පක්ෂ වලට අනිවාර්ය කිරීම ඉතාම වැදගත්ය. දුෂිත, වංචාකාර නායකයන් වරද කරන්නට යොමු කර පසුව ඔවුන්ට ගල් ගැසීම යුක්ති සහගත නැත. වැරදි නිවැරදි කරන විනිවිද පෙනෙන ප‍්‍රතිපත්ති හදුන්වාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම උසස් කරනු ඇත.

 

 

Advertisements