milinda-prashna

2018/07/18 – ලංකාදීප

විශ්වාසය ඉතාම වැදගත් සාධකයකි. සමාජයේ පැවැත්ම උදෙසා එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසය හා ගෞරවය සෑහෙන මෙහෙවරක් කරයි. ඇමරිකාවේ ගැලප් පර්යේෂණ ආයතනය එරට ව්‍යුහ අතරින් වඩාත්ම විශ්වාසදායක කොටස කුමක් ද යන්න හඳුනා ගැනීමට පර්යේෂණයක් කළේය. එයට අනුව ආරක්ෂක අංශය ඉතාම ඉහළ විශ්වාසයක් ජන සමාජය තුළ දිනා ගැනීමට සමත්ව ඇති බව තහවුරු වී තිබේ. දෙවැනුව පොලිසිය හා තුන්වැනුව දේවස්ථානය විශ්වාසය දිනාගත් ආයතන වශයෙන් දක්වන බව සඳහන් කළ යුතුය.

ගැල්ප් පර්යේෂණ ආයතනය එක්තරා සමාජ ස්ථරයක් විශාල වශයෙන් ගරු කරන ආයතනයකි. ඇමරිකාවේ නිව් ජර්සි ප‍්‍රාන්තය කේන්ද්‍ර කරගෙන මෙයට වසර අසූ පහකට කලින් පිහිටුවන ලද මෙම ආයතනය විශේෂයෙන් ජනමතය විමසා බලා එහි ප‍්‍රතිඵල පර්යේෂණය කිරීමෙන් නමක් දිනා ගෙන තිබේ. ජෝර්ජ් ගැල්ප් එහි නිර්මාතෘවරයාය. අද එහි මූලස්ථානය වොෂින්ටන් හි පිහිටා ඇති අතර ලොව පුරා ශාඛා තිහක් හතලිහක් ඇති බව වාර්තා වෙයි. ආයතන කළමණාකරනය, සමාජ සමීක්ෂණ සහ ජන මත විමර්ශන පැවැත්වීම එහි ප‍්‍රමුඛ ව්‍යාපාරය කරගෙන තිබේ. සේවකයන්ට කොටස් අයිතිය ඇති සමාගමක් වශයෙන් මෙහෙයැවෙන ගැල්ප් ආයතනය තොරතුරු සම්පින්ඩණය කර ඉදිරිපත්කරන කරුණු ගැන ඇමරිකාවේ පමණක් නොව ලෝකය පුරා පිලිගැනීමක් තිබේ. ස්වාධීන අදහස් වශයෙන් සලකයි.

ඇමරිකාවේ සියයට හැත්තෑ හතරක ප‍්‍රතිශතයක් වඩා විශ්වාසදායක ආයතනය වශයෙන්  මෙකී සමීක්ෂනය අනුව අනාවරණය කරන විට එය අවධානයට ගැනේ. එරට සමාජයෙන් සියයට 54 ක් පොලිසිය විශ්වාස කරයි. සියයට 38 ක් දේවස්ථානය විශ්වාස කරන අතර ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ සියයට තිස් හතකි. අධිකරණය විශ්වාස කරන ප‍්‍රතිශතය ද එයට සමානය. සෞඛ්‍ය ක‍්‍රමය ගැන සියයට තිස් හයක විශ්වාසයක් තිබේ. බැංකු ක‍්‍රමය ගැන විශ්වාසය තබන්නේ සියයට තිහකි. ලොකු ව්‍යාපාර කෙරෙහි සියයට විසි පහක විශ්වාසයක් හා පුවත් පත් කෙරෙහි සියයට විසි තුනක විශ්වාසයක් ඇති බව ගැල්ප් මත විමසුම පෙන්වයි. රූපවාහිනි ප‍්‍රවෘත්ති කෙරෙහි ඇති විශ්වාසය සියයට සහ කොන්ග‍්‍රස් මණ්ඩලය ගැන ඇති විශ්වාසය සියයට එකොලහක් බව එහි තව දුරටත් දැක්වෙයි.

ගැල්ප් පර්යේෂණ ආයතනය හෝ ඇමරිකානු සමාජය එරට ආයතන ගැන ඇති විශ්වාසය ගැන කරන මෙම විමසුම අපට වැදගත් නැත. නමුත් ශ‍්‍රී ලංකාවේ පවතින ආයතන කෙරෙහි මෙරට ජන සමාජය තුළ ඇති විශ්වාසය මැන ගැනීම වැදගත්ය. හමුදාව හෝ පොලිසිය ගැන පවතින විශ්වාසයේ ප‍්‍රතිශතය කෙබඳුද? පන්සල, කෝවිල, පල්ලිය හෝ දේවස්ථානය ගැන ඇති විශ්වාසය කොපමණ ද? මෙරට ජනතාවගෙන් තොරතුරු විමසා පර්යේෂණයක කළ හොත් බැංකු, සෞඛ්‍ය, පුවත්පත්, රූපවාහිනි, දේශපාලකයක් ගැන ඇති විශ්වාසයේ ප‍්‍රතිශතය ගැන ප‍්‍රතිඵලය කෙබඳු එකක් විය හැකිද?

මෙරට ජන සමාජයේ පද්ධති කෙරෙහි පවතින විශ්වාසය යම් පමණකින් එහා මෙහා වී තිබේ. ක‍්‍රියාකාරීත්වය ගැන ගැටළු ඇත. ඉතාම ඉහළින් පවතින බව පෙනෙන ආයතනයක් කෙරෙහි පොදු ජනතාවගේ විශ්වාසය හිතා ගැනීමට නොහැකි තරමට පහත එකක් බවව අනුමාන කළ හැකිය. විශ්වාස කර ඡන්දය දී පත් කරගන්නා මහජන නියෝජිතයන් ගැන ජනතාව අඩුම විශ්වාසයක් පළකිරීම පුදුමයට පත් විය යුතු තත්ත්වයක් බව ද සඳහන් කළ යුතුය. ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු ජනතා මෙහෙවර වෙනුවෙන් කැප විය යුතු අංශ සිය වගකීම පැත්තකට දමා ක‍්‍රියා කරන විට විශ්වාසය පිරිහීයාම වැලැක්විය නොහැකිය. ස්වභාවය එයයි.

පලූදු වන විශ්වාසය නැවත තහවුරු කරගැනීම වැදගත්ය. තමන්ගේ තරම දැනගෙන එය නැවත සකස් කර ගැනීමට පියවර ගැනීම උසස් සමාජයක ලක්ෂණය විය යුතුය. විශ්වාසදායක අන්දමට කටයුතු කරන්නට හැකි ව්‍යුහ හදා ගැනීම සමාජ සහ ආර්ථික දියුණුවේ එක කොටසකි. පරිවර්තනයක් තුළින් අලූත් යුගයක් අපේක්ෂා කරන රටට එකිනෙකා කෙරෙහි ගෞරවය හා විශ්වාසය තහවුරු කරන සරල වෙනස්කම් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

 

Advertisements