milinda-prashna

2018/07/04 – ලංකාදීප

රඹුටන් වාරය උදා වී තිබේ. සෑම නගරයකම මග දෙපස රඹුටන් අලෙවියෙහි නිරත ලොකු කුඩා වෙලෙන්දෝ දැකගත හැකිය. වෙළදුන් වටා එකතු වූ බාල මහළු ගනුදෙනුකරුවෝ අත ඇති මුදලට රහ පිරි රඹුටන් මිල දී ගැනීමට යුහුසුළු වෙමින් සිටිති. ප‍්‍රධාන මාර්ගවල දෙපැත්තේ රඹුටන් විකුණන වෙලෙන්දෝ රුපියල් සියයකට ලැබෙන ගෙඩි ගණන සඳහන් පුවරු ප‍්‍රදර්ශනය කර තිිබේ. රඹුටන් ගෙඩියක් රුපියල් පහක සිට දහය දක්වා මිල පරාසයක බව පෙනේ. මෙම මිල අනුව සාමාන්‍ය ජනතාවට රඹුටන් මිලයට ගැනීම පහසු නැත.

රඹුටන් මිල වැඩි නමුත් වගාකරුවන්ට ලැබෙන ආදායම වෙනස් වී නැත. ‘‘වෙළෙන්දෝ ගස්  පිටින් බදු ගන්නේ නොවටිනා ගණන් වලට. හැබැයි විකුණන්නේ සුපිරි මිල ගණන් වලට.’’ රඹුටන් වගා කරුවෝ නගන මැසිවිල්ලකි. අවුරුද්දකට එක වතාවක් අස්වැන්න ලැබෙන මෙම වගාව කරගෙන යාම පහසු නැත. රඹුටන් ගහකට විශාල ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍යය. ඉඩම් මිල ගණන් වැඩි වෙමින් පවතින වර්තමාන කාලයේ දී රඹුටන් වලට ප‍්‍රකට මල්වානේ පවා වගාව නඩත්තු කිරීම වෙනුවට ඉඩම් කැබැලිකර විකිණීම ලාභදායක වී තිබේ. සම්ප‍්‍රදායික වගාකරුවෝ සෑහෙන මහන්සියකින් අතු කප්පාදු කර පොහොර යොදා, මල් හටගන්නා කාලයේ සිට අස්වැන්න නෙලා ගන්නා තෙක් වදුරන්, වවුලන් ගේ සිට කපුටන් දක්වා හානිකර සතුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය. ඇතැම් වගාකරුවෝ රාත‍්‍රිය විදුලිය පහන් වලින් ආලෝකවත් කර නිශාචර සතුන්ගෙන් රඹුටන් බේරා ගනී. ඉන් පසුව එන වෙළදුන්ගෙන් ද ගැලවීමක් නැත. තොග වශයෙන් මිල දී ගන්නේ ඉතාම අඩු මිලකටය. සත දහයට පහලොවට මිලට ගත් රඹුටන් නගරයේ දී රුපියල් වලින් විකිණෙන විට වගාකරුවෝ කණස්සල්ලට පත්වෙති.

නගරයේ රඹුටන් විකුණන වෙලෙන්දන්ට ද කතාන්දරයක් තිබේ. ගස් වලින් කඩා ගැනීමට කුලීකරුවෝ සොයා ගැනීම දුෂ්කරය. අස්වැන්න නගරයට ප‍්‍රවාහනය කිරීම සඳහා වාහන කුලිය දෙතුන් ගුණයකින් වැඩි වී ඇත. සුළු වෙලෙන්දන්ට මහ මග කුඩා තාවකාලික අලෙවි සැල හදාගන්නට පලාත් පාලන ආයතන ඉඩ දෙන්නේ නැත. අවසර ගැනීමට සිදුවෙයි. එයට මිලක් තිබේ. කසල බැහැර කිරීම ද ප‍්‍රශ්නයකි. අතරමැදියන්ට ද ගෙවන්නට සිදුවෙයි. දවසකට රඹුටන් දාහක් අලෙවි කරගන්නට ලැබෙන්නේ කලාතුරකින්ය. ගන්න එන අය ඉල්ලන්නෙ අලූත්ම රඹුටන්ය. දවසක් දෙකක් ඇතුලත විකුණා ගත නොගත්තොත් ඉවතට විසි කිරීම හැර විකල්පයක් නැත. සියළු වියදම් අවසානයේ දී ගෙඩියකින් රුපියලක්වත් ලාබ නැති බව සුළු වෙලෙන්දෝ නගන මැසිවිල්ල වී තිබේ. රතට රතේ විකුණන රඹුටන් රහ බලන්නට අතට එන අතරවාරයේ මිල හැදෙන්නේ මෙම සියළු වියදම් වල එකතුවෙන් බව තේරුම්ගත යුතු වැදගත් කාරණයකි. රඹුටන් පමණක් නොව මෙරට හැදෙන එලවලූ, පලතුරු යනා දී සෑම බව භෝගයකම පසුබිම එයට නොවෙනස්ය. වගාකරුවා හා පාරිභෝගිකයා අතර අක‍්‍රමවත්, අසංවිධානාත්මක චක‍්‍රයක් ඇති අතර විශාල නාස්තියක් සිදුවෙයි. ඉහළ ප‍්‍රතිපල අපේක්ෂාවෙන් කෘෂි අංශය ගැන කරන පර්යේෂණ තිබේ. අලූත් සොයා ගැනීම් ඇත. ජාත්‍යන්තර වෙළඳ පොල ගැන අවබෝධයක් තිබේ. රඹුටන් පමණක් නොව මෙරට වගා කරන බොහෝ වගා ද්‍රව්‍ය වල අස්වැන්න සම්බන්ධ අවසාන විග‍්‍රහය දුක්බර එකකි.

මැලේසියාවෙන් ශ‍්‍රී ලංකාවට රඹුටන් ලැබුණ බව ඉතිහාසය අනාවරණය කරයි. මෙරට යටත් කරගෙන සිටි පෘතුගීසි ජාතිකයෝ ගෙන එන ලද පැල වලින් රඹුටන් රට පුරා ව්‍යාප්ත වී තිබේ. වාර්තා සලකා බලන විට ප‍්‍රධාන රටවල් තුනක් ජාත්‍යන්තර වෙළඳ පොලට අවශ්‍ය රඹුටන් වලින් සියයට අනූපහක් සපයයි. වැඩිම දායකත්වය තායිලන්තයයි. ඒ හැරුණ විට ඉන්දුනීසියාව හා මැලේසියාව ලෝක වෙළඳ පොල ජය ගෙන ඇති අනෙක් රටවල් දෙක වශයෙන් සඳහන්ය. නැවුම් පලතුරක් වශයෙන් අසුරා අපනයනය කරන අතර රඹුටන් මද ටින් කර අලෙවියට ද අවස්ථාවක් ඇත. ජෑම් හා ජෙලි වශයෙන් ද රඹුටන් සකස් කෙරේ. අස්වැන්න ලැබෙන කාලයට ඒවා වැඩිපුර පරිභෝජනය කරනු සඳහා උත්සව සංවිධානය කෙරේ. මිදි හා තක්කාලි යනාදිය සඳහා සැනකෙලි පැවැත්වෙයි. එයින් සංචාරක ආකර්ශනයක් ඇති වෙයි. ගහෙන් කඩා පාරේ විකිණීමට වඩා වෙනස් පැති සොයා රඹුටන් වගාව යොමු කළ යුතු බව පැහැදිලි කළ යුතුය.

 

Advertisements