milinda-prashna

2017/06/28 –  ලංකාදීප

උප්පැන්න සහතිකය පුද්ගලයෙකු සතු වැදගත් ලේඛනයකි. නම හා සමාන වැදගත්කමක් ආගම සම්බන්ධයෙන් ඇත. උපතේ දී, දෙමව්පිය පසුබිම අනුව දරුවාගේ ආගම තීරණය කෙරේ. පෙලපත් නාමය ලැබෙන අන්දමට ජන්ම උරුමයෙන් ලැබෙන ආගම වර්තමානයේ දී මෙරට පුරවැසියන්ගේ ජීවිතයට බලපාන අන්දම ගැන සමාජ පර්යේෂණයක් කළ යුතුව ඇත. එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ ඇයි? ආගම් වලින් උගන්වන පණිවුඩය සමාජය තුළ නැත. පාපයට බය නැත. ලජ්ජාව තුරන් වී තිබේ. වෛරය, ක්‍රෝධය ඉහවහා ගොස් ඇති අතර බොරුව සහ රැවටිල්ල ඉහ වහා ගොස් ඇත. රටට අලූත් දර්ශනයක් උදා කළ දිනයක් වශයෙන් සැලකෙන පොසොන් පුර පසලොස්වක දිනයේ දී අප සියළු දෙනා  පවතින තත්ත්වය ගැන ගැඹුරු අවධානයක් යොමු කළ යුතුය.

යුද වැදී රටවල් අල්ලා ගැනීමේ මහා මෙහෙයුමක නිරතව සිටි ධර්මාශෝක රජු දර්ශනයක් වශයෙන් බුද්ධාගම හªනාගත්තේය. ජීවිත හා දේපොල විනාශය තුළින් රටවල් දිනාගත නොහැකි බව වටහා ගත් හෙතෙම තම දරුවන් ශාසනයට පූජා කරන ලද අතර මිහිදු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලෝකය පුරා ධර්ම ප‍්‍රචාරයෙහි නිරත වූහ. බුදු දහම අවබෝධ කරගන්නට පෙර අශෝක අධිරාජ්‍යයා චණ්ඩාශෝක වශයෙන් ප‍්‍රකටව සිටි බව මෙහි දී සඳහන් කළ යුතුය. අශෝක රජු එපමණ යුදකාමීයෙකි. ලංකාවට බුද්ධාගම රැගෙන එන වකාවානුවේ දී මෙරට රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමා මිහිදු මහ රහතන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන තිබේ. අසල්වැසි දේශයෙන් ආගන්තුකව පැමිණි පණිවුඩයෙන් කියැවෙන දර්ශනය මැනැවින් අවබෝධ කරගත්තේය.

දේවානම් පියතිස්ස රජු ගේ නියමය අනුව මාලිගාවේ විසූ සියළු දෙනා බුද්ධාගම වැළදගත් අතර අනුරාධපුර ඇතුල් නගරය, එයින් පසු අසල්වැසි නගර හා පසුව මුළු රටම බුදු දහම පිලිගන්නට ඇත. පසු කාලීනව විවිධ හේතු මත අනෙක් ආගම් රටවැසියන්ගෙන් කොටසක් වැළඳ ගෙන තිබේ.

ධර්මාශෝක, දේවානම් පියතිස්ස වැනි රජවරු පමණක් නොව ලෝකයේ ලොකු කුඩා, දුප්පත් පොහොසත් අති විශාල පිරිසක් බුදු දහම කියවා, එහි අර්ථය අවබෝධ කරගෙන ධර්මයට අනුව ජීවිතය අලූතින් සකස් කරගෙන සිටිති.

එනමුත් සමස්ථ ජන සමාජය උපතින් බුද්ධාගමේදැයි ප‍්‍රශ්න කිරීම සුදුසුය. ආගම වශයෙන් බුද්ධාගම උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත. රට තුළ සිදුවන සාපරාධී සිද්ධි, ගැටුම් සහ එකිනෙකා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් හැසිරෙන තරම මිනිසුන් ගේ හදවත තුළ බුද්ධාගමක් නැති බව ඉතාම හොඳින් තහවුරු කරයි. ජාතී, ආගම්, පක්ෂ බේධ අවුළුවා රට තුළ නොසන්සුන්තාව වර්ධනයවී තිබේ. එක පැත්තකින් තිස් අවුරුද්දක් තිස්සේ පැවැති යුද්ධයේ ප‍්‍රතිඵලයක් විය හැකිය. කෙසේ නමුත් පොසොන් දිනයක ලැබුණ ධර්මය වර්තමාන සමාජය අවබෝධ කරගෙන නැති බව දක්වයි.

දහම අවබෝධ කරගෙන දහමෙහි හැසිරෙන සේ බල කරන්නට පුළුවන්කමක් නැත. ධර්මාශෝක, දේවානම් පියතිස්ස රජවරු බුදු දහම තුළ ඇති දර්ශනය දැන ජීවිතය වෙනස් කරගත්හ. බුදු දහම අග‍්‍ර ස්ථානයෙහි තබා දහම ගැන අවබෝධයෙන් දැහැමින් රාජ්‍ය පාලනය කරගෙන ගිය නරපතියන් ගැන මෙරට ඉතිහාසයෙහි විශේෂයෙන් සඳහන් වී තිබේ. රජු ධාර්මික වන විට නිසි කලට වැසි වැටී කෙත් වතු සාරවත් වී රට වැසියන්ගේ ජීවිත යහපත් වන ‘දේවෝ වස්සතු කාලේන’ යනුවෙන් බුද්ධ දේශනාවේ දක්වයි. අප රටට නායකයෝ දුර්ලභය. දේශපාලකයන් නායකයන් වී තිබේ. කැපවීමක් ඇති ආදර්ශවත් අසමාන නායකයෝ ඇති රටකට නිසි කලට වැසි ලැබේ.

පොසොන් උත්සව පැවැත්වීම පසෙකින් තබා බුදු දහම අවබෝධ කරගැනීම වැදගත්ය. මිහිදු මහ රහතන් වහන්සේගේ සම්ප‍්‍රාප්තියට වඩා රැගෙන පැමිණි දර්ශනය තේරුම් ගැනීම අවශ්‍යය. බුද්ධාගම උප්පැන්න සහතිකයේ පමණක් ඇති රටක වැසියන් සහ පාලකයන් දහම ගැන අනවබෝධයෙන් හැසිරෙන විට දාන, ශීල, භාවනා වැඩ සටහන් හුදෙක් ලෞකික ආසාවන් සම්පූර්ණ කරගැනීමේ තවත් සිද්ධි පමණකි. මෙරට නායකයෝ පවතින තත්ත්වය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය.

 

 

Advertisements