milinda-prashna

2018/05/02 – ලංකාදීප

‘‘පැලක ඉන්නවා නම්, දොළක නානවා නම් රුවල් නැව් මොකටද’’ කොළඹ නගරයේ ජනාකීර්ණ මාවතක ගමන් කරමින් තිබුණ වාහනයක පිටුපස මෙම වාක්‍ය ලියා ප‍්‍රදර්ශනය කර තිබුණි. පිටු ගණනකින් ප‍්‍රකාශ කළ හැකි අදහසක් වචන දහයකට අඩු ගණනකින් සරලව දක්වා තිබේ. රට පුරා සැරිසරන බස්, ලොරි හා තී‍්‍ර විලර් රථ වල  අදහස් සැහෙන ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කර ඇත. ඇතැම් එකක අදහස වටිනා බව ඉතාමත් පැහැදිලිය. ආදර්ශයට ගත හැකි කරුණු කාරණා බොහෝ ප‍්‍රමාණයක් ඒවා අතර තිබේ.

මුලින් සඳහන් කරන ලද වාක්‍යයෙන් ලොකු බලාපොරොත්තු නැති සරල ජීවිතයක් ගැන ඇඟවෙයි. එය තේරුම් ගත හැකිය. එනමුත් ඇත්ත එය නොවේ. සෑම සියළු දෙනාටම විශාල අදහස් ඇත. අපේක්ෂා තිබේ. ඒවා සාක්ෂාත් කරගැනීම සඳහා එකිනෙක අයට අනන්‍ය වෙනස් වැඩ කරන ස්වභාව තිබේ. ලොකුවට හිතුවොත් සුළුවෙන් හෝ දිනන්නට පුලූවන්කමක් ඇත. සාමාන්‍ය අදහස එයයි. ඉහළම බලාපොරොත්තු ඇතිව ඉතා මහන්සියෙන් වැඩ කරන අය සිටිති. එසේ වැඩ කරන්නේ ඒවා දිනා ගන්නට ධෛර්යය ඇතිවය. ඉතාම ධෛර්යය සම්පන්න මිනිසුන් අති මහත්  ඕනෑ කමකින් අරමුණ කරා ගමන් කරති. සෑම කෙනෙකුම සිහිනයක් දකින අතර එය සාක්ෂාත් කරගැනීම සඳහා කැපවීමෙන් පමණක් සිහිනය සැබෑ කරගත හැකි වෙයි. එයට අනුව බලන විට ලොකු බලාපොරොත්තු ඇති කරගැනිම නරක නැත. ලෞකික ජීවිත ගත කරන අප සියළු දෙනාම කවදා හෝ රුවල් නැවක් අයිති කරගන්නට හිතා ඉන්නා අය අතර වෙති. යතාර්ථය එයයි.

වැසියන්ට පමණක් නොව රටක ද ස්වභාවය නොවෙනස්ය. පවතින තත්ත්වයට වඩා ඉහළින් හිතන්නට අයිතියක් ඇත. උසස් දර්ශනයක් ඇතිව නිසි සැලැස්මකට රට  මෙහෙයවන විට රටත් එහි වෙසෙන ජනතාවගේත් ජීවිත දියුණුවට පත්වෙයි. ලෝකයේ දියුණු රටවල් සහ ඒවායේ ජීවත්වන වැසියෝ සිය සිතිවිලි සාර්ථක කර ගැනීම සඳහා වැඩ පිලිවෙලක් සකස් කරගෙන ඒ අනුව මෙහෙයැවෙන බව සඳහන් කළ යුතුය. අලූත් දේ සොයා ගැනීමත් ඒවා සමාජ යහපත සදහා උපයෝගී කරගැනීමත් නොනැවතී සිදුවෙමින් තිබේ. සියවස් ගණනකට කලින් තිබුණ සමාජ ආර්ථික පසුබිමට වඩා වෙනස් ස්වභාවයක් අද පවතින අතර එය පරිවර්තනයක් උදෙසා නොනවතින අරගලයක නිරත වූ උසස් මනුෂ්‍යයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයකි.

හැදෙනවා නම් ලෝකය පුරා ආදර්ශ තිබේ. දියුණු වෙන්නට අවශ්‍ය නම් එයට මග දක්වන අත්දැකීම් ලෝකයේ කොතැනකින් හෝ ලබා ගත හැකිය. මෙරට දීර්ඝ ඉතිහාසය තුළ ලියැවී ඇති අත්දැකීම් සම්භාරය වෙනත් රටවල් වලට නැත. වැව දාගැබ, ගම හා පන්සල අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය විශාල වපසරියක් පුරා විහිදී යයි. ලංකාව සශී‍්‍රක පුනරුදයක පසුවිය. නොයෙක් රටවල් වලින් පැමිණි ආගන්තුකයෝ රට සමග ගනු දෙනු කරන ලද බව ඉතිහාසයෙහි දැක්වෙයි. බටහිර අධිරාජ්‍යවාදීහු රට යටත් විජිතයක් කරගත්හ. එය මෙරට අනන්‍යතාව හා උසස් අභිමතාර්ථ යටපත් වූ අවස්ථාවකි. නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හත තුළ දියුණුව උදෙසා දරන ලද අප‍්‍රතිහත වෑයම සම්පූර්ණයෙන් අසාර්ථක බව ප‍්‍රකාශ කළ නොහැකි නමුත් එය තිරසාර පැවැත්මක් ඇති කරන්නට සමත් වී නැත.

විනය සම්බන්ධ ප‍්‍රශ්න ජන සමාජය තුළ මතු වී තිබේ. සාරධර්ම අර්බුදයකට ලක්ව ඇත. ජන කණ්ඩායම් අතර විශ්වාසය පිලිබඳ ගැටළු පවතින අතර නොයෙක් බෙදීම් නැවත නැවතත් පවතින තත්ත්ව ව්‍යාකූල කරන බව පෙනෙන්නට තිබේ. මේවා අලූතින් සාකච්ඡා කළ යුතු දේ නොවේ. රට තුළ පවතින සමාජ ආර්ථික පරිහානිය ගැන  ආගමික, ජාතික සහ දේශපාලනික නායකත්වයට අවබෝධයක් ඇත. නමුත් සියළු පැති නිසි සේ සලකා බලා අලූත් ජවයකින් රට එකතු කරන්නට පුලූවන් කමක් ලැබී නැත. අපට රුවල් නැව් අවශ්‍ය නැතැයි හිතන, එදා ජීවිතය ගත කරන ව්‍යුහයකට කොටුවීම එහි ප‍්‍රතිඵලයකි. අවසානයේ දී කොතැනකින් හෝ වෙනසක් සිදුවිය හැකිය.

 

Advertisements