201milinda-prashna8/04/18 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය ගැන ප‍්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට සිය දිනපතා ගමන බිමන තිත්ත වී ඇත. පාසලට, කාර්යාලයට හෝ වෙනත් කාර්යයකට මහපාරට එන ජනතාවට පොදු ප‍්‍රවාහන සේවාව නිසි පහසුව සලසන්නේ නැත. කාලය නාස්ති කිරීම එක පැත්තකින් ප‍්‍රශ්නයකි. අනෙක් පැත්තෙන් ගමනා ගමන වියදම නිතිපතා ඉහළ යන බව පෙනේ. ඉතාම අපහසුවෙන් බස් රථ හා කෝච්චි වල එල්ලී ගමන් කරන මගීන් ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු විය යුතුය. පොදු ප‍්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා ලෝකයේ හොඳම අදහස් රටට තිබේ. නමුත් ක‍්‍රියාවට නැගෙන්නේ නැත. පසුගිය සිංහල හා දෙමල අලූත් අවුරුදු කාල පරිච්ෙඡ්දය එයට හො`ද උදාහරණයකි. ජනතාව ගම් බිම් බලායන්නට අප‍්‍රමාණ පීඩාවක් විඳන ලද බව නොරහසකි.

ප‍්‍රංශයේ බටහිර ප‍්‍රදේශය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට එම ප‍්‍රදේශයේ වැසියන්ට නොමිලේ බස් ගමන් වාර පවත්වාගෙන යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොදු ප‍්‍රවාහනය භාවිතා කරන මගීන් ප‍්‍රමාණය සියයට එකසිය තිහකින් වැඩි වී ඇත. නගරයට එන වාහන ප‍්‍රමාණය බොහෝ සෙයින් පහත වැටී තිබේ. පොදු ප‍්‍රවාහනය නොමිලේ සහ කාර්යක්ෂමව සැපයීම පදනම් කරගෙන කාලය කළමණාකරනය කරගත හැකි වී ඇත. එය පරිසරයට හිතකර සාධකයක් ද වී තිබේ. පැරිස් නගරාධිපතිවයා ද නගරය තුළ නොමිලේ පොදු ප‍්‍රවාහනය පවත්වාගෙන යන්නට සැලසුම් කරමින් සිටින බව අනාවරණය වෙයි. එයට සමාන වැඩ පිලිවෙලක් ජර්මනිය ළඟදීම අරඹනු ඇත.  රට පුරා නොමිලේ පොදු ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාම අරමුණු කරගෙන නගර පහක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් අරඹන්නට ජර්මනිය තීරණය කර තිබේ. මෙම අලූත් අදහස් ඇති පාලකයෝ සඳහන් කරන අන්දමට දැනට කරගෙන යන සහන ගාස්තු ක‍්‍රමය මගින් ලැබෙන ආදායම අඩුය. සේවය වෙනුවෙන් ලැබෙන ආදායම සමස්ථ පිරිවැයෙන් සියයට දහයක් පමණකි. එම අඩු ආදායම ද නොසලකා පැත්තකට කළහොත් වෙනත් වාසි ලැබේ. අධික මාර්ග තදබදය ඇති කරන පුද්ගලික වාහන නගරයෙන් ඉවත් වෙයි. පරිසරය ආරක්ෂා වෙයි. කාලය කළමණාකරනය කරගත හැකි වීම විශාලම වාසියයි. අලූත් දේ හිතන පාලකයන්ගේ නිර්මාණශීලී අදහස් වලින් දියුණු රටවල පැවැත්ම වර්ණවත් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද අලූතින් හිතන්නට අවශ්‍යය. ලෝක බැංකු වාර්තාවකට අනුව පොදු ප‍්‍රවාහනයේ දී කාන්තාවන් අතවර වලට ලක් වෙති. ගැහැනු දරුවන්ට හෝ කාන්තාවන්ට පොදු ප‍්‍රවාහන සේවයක ගමන් කළ නොහැකි තරමට පිරිහී ගිය ක‍්‍රමයක් බිහිකිරීම ගැන අප කම්පා විය යුතුය. එම වාර්තාව අනුව 2010 සිට වසර හයක් තුළ සියයට පහක කාන්තා ශ‍්‍රම බලකායක් පොදු ප‍්‍රවාහනයේ අමිහිරි අත්දැකීම් නිසා වැඩට පැමිණීම අත්හැර තිබේ. දියුණුවන රටකට එය ගැටළුවකි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 1986 දී පවුලක පොදු ප‍්‍රවාහන වියදම රුපියල් 105.00 කි. 2016 වසරේ දී එය රුපියල් 5,548.00 දක්වා වැඩි වී ඇත. ඉතාම වෙහෙසකින් පොදු ප‍්‍රවාහනයේ ගමන් කරන අතර කාන්තාවන් හිරිහැරයට ලක් වෙති. ප‍්‍රවාහනය වෙනුවෙන් කරන පිරිවැය ද දරා ගත නොහැකි සේ ඉහළ ගොස් ඇති බව පැහැදිලිව පෙනේ. මේවා කළමණාකරනය කරන්නේ කෙසේද?

පොදු ප‍්‍රවාහනය විධිමත් කිරීම සඳහා නොයෙක් අත්හදා බැලීම් කර ඇත. පසුගිය කාල වකවානුව තුළ පැවැති සෑම ආණ්ඩුවක්ම නොයෙක් පියවර ගෙන තිබේ. පොදු ප‍්‍රවාහනය සහන ගාස්තු ක‍්‍රමයකින් පවත්වා ගෙන යන බව නොරහසකි. ඒවා පාඩු ලබන අතර පියවන්නේ ජනතාවගේ බදු වලින්ය. පොදු ප‍්‍රවාහනයේ දුර්වලතා නිසා සෑම වැසියෙකුම තමන්ගේ වාහනයක් මිල දී ගෙන ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරමින් සිටී. ලෝකයේ සිදුවන නව ප‍්‍රවණතා අධ්‍යයනය කිරීම වැදගත්ය.

 

 

 

Advertisements