milinda-prashna

2018 /03/ 21 – ලංකාදීප

ලෝකයේ  ඕනෑම රටක ඇමැති මණ්ඩලය ඉතා බාරධූර වගකීමක් උසුලයි. රට පාලනය කිරීමේ දී අවශ්‍ය ප‍්‍රතිපත්ති නිර්මාණය කරන අතර ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කාර්යශූර මෙහෙවරක නිරතය. පසුගියදා මහජන චීන සමූහාණ්ඩුව සිය කැබිනට් මණ්ඩලය වෙනස් කළේය. අවුරුදු තිහක් යනූ දීර්ඝ කාලයකි. මෙය එවැනි කාලයක් තුළ අට වැනි වතාවට කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇත. ආණ්ඩු පමණක් නොව කැබිනට් මණ්ඩලය ද නිතර වෙනස් වන  රටවල් අතර චීනය අතිශය කැපී පෙනෙන තැනක් බව මෙයින් අවබෝධ කර ගත හැකිය.

අවධානය යොමු කළ යුතු තවත් පැත්තක් ඇත. මහජන චීනය විශාල භූමියක් හා බිලියනයකට වැඩි ජනගහනයක් සහිත රටකි. එය සමස්ථ ලෝක ජනගහනයෙන් හතෙන් එකකට ආසන්නය. චීනය ශ‍්‍රී ලංකාව මෙන් එකසිය හතලිස් ගුණයක්  විශාලය.  ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන විසි එකක් පමණ වන අතර එය චීන අගනුවර වන බෙයිජිං නගරයේ ජීවත්වන ජනගහනයට අඩුය. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන අතර ඉදිරි වසර කිහිපය තුළ ඇමරිකානු ආර්ථිකය අභිබවා යනු ඇතැයි සැලකේ. චීනයේ බලවත් බව ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව සෑහෙන අවධානයකින් සිටින අතර අලූත් කැබිනට් සංශෝධනය අනුව සමස්ථ චීනය පාලනය කරනු සඳහා ඇමැතිවරු හා කොමසාරිස්වරු විසි හය දෙනෙකු තෝරා ගෙන තිබේ. විදේශ, ආරක්ෂක, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ, මහජන ආරක්ෂණ, රාජ්‍ය ආරක්ෂක, සිවිල් පරිපාලන කටයුතු, අධිකරණ, මුදල්, මානව සම්පත් හා සමාජ සුබසාධන, ස්වභාවික සම්පත්, පාරිසරික,  නිවාස හා නාගරික සංවර්ධන, ප‍්‍රවාහන, ජල සම්පත්, කෘෂිකර්ම හා ග‍්‍රාමීය කටයුතු, වානිජ, සංස්කෘතික හා සංචාරක, රණවිරු කටයුතු, හදිසි තත්ත්ව කළමණාකරණ යනු අමාත්‍යංශ්‍ය බව දැක්වෙයි. නියම අන්දමින් සොයා බැලූවහොත් අමාත්‍යංශ විසි එකකි. ඉතිරි පත් කිරීම් පහ කොමිෂන් බව සඳහන් කළ යුතුය. චීන මහජන බැංකුව, ජාතික විගණන කාර්යාලය, ජාතික සෞඛ්‍ය කොමිසම, ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම හා ජාතික සංවර්ධන හා ප‍්‍රතිස්සකරණ කොමිසම බව දැක්වෙයි. මෙම අමාත්‍යංශ සහ කොමිෂන් සභා සුළු ප‍්‍රමාණයෙන් දැවැන්ත චීනය පාලනය කළ හැකිද? අපගේ රටේ හැටියට නම් අප සියළුම දෙනාට එය බරපතල ප‍්‍රශ්නයක් බව නිසැකය.

චීන කැබිනට් ඇමැතිවරුන්ගේ තනතුරු නම ඉතා කුඩාය. තනි වචනයකි. ආරක්ෂක, මුදල්, අධිකරණ ආදී වශයෙනි. අපගේ අමාත්‍යංශයක නම දිග නම්, එයට ආයතන සමූහයක කොටස් එකතු වී නැත්නම් අඩුවකි. චීනයේ නොයෙක් අමාත්‍යංශ අවස්ථානුකූලව පිහිටුවා තිබේ. මානව සම්පත් හා සමාජ සුබසාධන, ස්වභාවික සම්පත්, රණවිරු කටයුතු සහ හදිසි තත්ත්ව කළමණාකරණ වශයෙනි. එකම අමාත්‍යංශයකවත් විෂය පථයට නොගැලපෙන හෝ සංකීර්ණ වන අන්දමට වෙන්කර නැති බව බැලූ බැල්මට පෙනේ. අමාත්‍යංශයක වගකීම කුමක්ද යන්න හදුනා ගැනීමට මෙරට මෙන් ගැසට් පත‍්‍ර නිකුත් වන තෙක් බලා සිටිය යුතු නැති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

ආණ්ඩුව පිහිට වූ පසු පත් වූ පුද්ගලයන්ගේ මුහුණ දෙස බලා ඇමැතිකම් නිර්මාණය කිරීම වෙනුවට රටක පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා දර්ශනයකට අනුව අමාත්‍යංශ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය චීන කැබිනට් මණ්ඩලය ගැන අධ්‍යයනය කරන විට පෙනේ. තේරුම් ගත යුතු යතාර්ථය එයයි.

ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගැනීම සඳහා ඇමැතිකම් හදා ඒවාට බල කේන්ද්‍රීය පුද්ගලයන් පත් කිරීම පමණක් නොව ආණ්ඩු පක්ෂයේ පුද්ගලයන්ගේ තරාතිරම සලකා අමාත්‍යංශ හැදීමෙන් පලක් නැත. නමුත් ශ‍්‍රී ලංකාවේ සිදුවන්නේ එයයි. ඇමැති මණ්ඩලය පත් කරගැනීම රාජ්‍ය නායකයාට ගැටළුවක් වන තරමට කේවල් කිරීමේ සිද්ධි ද දැකගත හැකිය. තමන්ට කැමැති විෂයයන් නොලැබුණ විට ඒවා ගැන එළිපිටම නෝක්කාඩු කියයි. හොඳින් හෝ නරකින් ඇමැතිකම් ලබා ගන්නට තැත් කරන අවස්ථා තිබේ. තවත් මහජන නියෝජිතයන් ඇමැතිකම් ඉල්ලන්නේ ඉතා පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමට බව පෙනේ. ලෝකයේ දියුණු රටවල තත්ත්ව ගැන හදාරා ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට ආඩම්බර විය හැකි ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමට නායකයෝ සමත් විය යුතුය.

 

Advertisements