milinda-prashna

2018/03/14 – ලංකාදීප

මහනුවර දිස්ත‍්‍රික්කයේ හටගත් සිද්ධි පාලනය කරනු සඳහා හදිසි නීතිය පනවන ලද රජය එයින් පසු සමාජ මාධ්‍ය වාරණයක් පැනවීය. එය තාවකාලික බව සඳහන් වෙයි. සමාජ මාධ්‍ය අවහිර කිරීම සිද්ධි පැතිරීම වලක්වන එක ප‍්‍රයත්නයක් යැයි රජයේ කල්පනා කරන්නට ඇත. ෆේස් බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, වට්ස් ඇප් යනාදී සමාජ මාධ්‍ය මෑත දශකය තුළ ඉතාම වේගයෙන් ව්‍යාප්ත විය. ලොව පුරා ජනී ජනයා එකිනෙකා සමග සම්බන්ධ කළේය. හිතවත්කම් ඇති කරගත් අතර දුක සැප එදිනෙදා විස්තර බෙදා හදා ගත්තේය. සමාජ මාධ්‍ය තහනම ජනතාවගේ හිතවත්කම් වලට අවහිර කළේය.

සමාජ මාධ්‍ය පාලනය කිරීමේ තීරණය දැලෙකින් සුළං බදන්නට කළ උත්සාහයකි. දැල එසේම තිබිය දී ජනතාව සිද්ධි සන්නිවේදනය සඳහා වෙනත් උපාය අනුගමනය කළහ. තාක්ෂණය ගැන ඉතාම අඩු අවබෝධයක් ඇති පිරිස් පවා බාධා මැඩගෙන සමාජ මාධ්‍ය වලට ප‍්‍රවේශ වෙන ප්‍රොක්සි භාවිතයට නැඹුරු විය. තොරතුරු දැන ගැනීම හා සංවාදය මගින් සමාජය තුළ පැවැති ජනතාවගේ අසමාන බව පලූදු කිරීම එයින් සිදුවු අනර්ථයකි. පාලනය අභිබවා ෆේස් බුක් වලට ඇතුළු වන අන්දම දැන ගෙන සිටි කොටස පමණක් නොව ට්විටර් ගිණුම් හිමියෝ ද ආණ්ඩුවේ තහනමට ලක් වූයේ නැත. එම පිරිස එක්තරා සමාජ පැලැන්තියක් නියෝජනය කළ අතර තහනම පහල පැලැන්තියට පමණක් බලපැවැත්වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ජනතාවට සමාජ මාධ්‍ය අවහිර කළ නායකයෝ තමන්ගේ එදිනෙදා දේශපාලන  ප‍්‍රචාරය සමාජ මාධ්‍ය මගින් කරගෙන ගියේය. සමාජ මාධ්‍ය පාලනය මගින් අන්තවාදීන්ට අවහිරයක් නොවූ එයින් අනතුර ඉවත් වූයේ යැයි කල්පනා කිරීම කිසිසේත් සත්‍යයක් නොවේ.

වර්තමාන සන්නිවේදන ව්‍යුහය ඉතා සංකීර්ණ එකකි. රජය හෝ දේශපාලනඥයන් එය අවබෝධ කරගෙන සිටියේ නැත. වාරණය මගින් අන්තවාදී සුළු පිරිස පාලනය කළ හැකිය. නමුත් සමාජ මාධ්‍ය මගින් බහුතර බුද්ධිමත් ජනතාව ආමන්ත‍්‍රණය කරන්නට හැකි බව අමතක කළේය. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන ලද වත්මන් ආණ්ඩුව සිද්ධි සම්බන්ධයෙන් විවිධ ජන කොටස් අතර සංවාදයක් ඇති කිරීම තුළින් පීඩනය පිට කරන්නට හැකි බව අවබෝධ කරගෙන සිටියේ නැත. ගැටුම් සම්බන්ධ පීඩනයට අමතරව තරුණ පෙළ තුළ ආණ්ඩුව කෙරෙහි වෛරයක් ද හටගෙන තිබේ. ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එහි ඇත්ත නැත්ත තමන්ගේ දරුවන්ගෙන්ම දැන ගත හැකිය.

මාධ්‍ය වාරණය ගැන රටට අප‍්‍රමාණ අත්දැකීම් තිබේ. දකුණේ භීෂණය පැවැති කාලයේ ප‍්‍රවෘත්ති පාලනයක් පැනවීය. ජනතාව වෙනත් රටවල ගුවන් විදුලිය සේවා වලට සවන් දී ඇත්ත දැනගත්හ. කටකතා පැතිරීම වලක්වනු නොහැකි විය. උතුරේ ත‍්‍රස්ත‍්‍රවාදය ඉහ වහා යන විට එවකට පැවැති ආණ්ඩුව පුවත් පත් හා රූපවාහිනී මාධ්‍ය පාලනය කළේය. නමුත් වෙබ් අඩවි වලින් හා ඒවා අවහිර කරන විට විකල්ප මාර්ග වලින් වෙබ් අඩවි කරා ගොස් සිදුවන දේ දැනගන්නට ජනතාව සමත් විය. මෙවර සිදුවූයේ ද එයමය. ප‍්‍රශ්න නිරාකරණය කරනු වෙනුවට ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය කතිකාවතක් නිර්මාණය කළේය.

සමාජ මාධ්‍ය භාවිතාව තුළ වෛරී අදහස් පාලනය කරන යාන්ත‍්‍රණයක් තිබේ.  ඒවාට සියුම් උපක‍්‍රම අනුගමනය කළ හැකිය. සමාජ මාධ්‍ය ආයතන සිය මාධ්‍ය ජාලා වල පරිහරණය වන තොරතුරු ගැන නිතර පරීක්ෂාවෙන් සිටින අතර නොගැලපෙන දේ ඇතොත් අවහිර කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ආණ්ඩුව සිය බලය යොදවා සමාජ මාධ්‍ය පාලනය කරනු වෙනුවට එම මාධ්‍ය ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන තොරතුරු තෝරා බේරාගෙන කිසියම් රාමුවකට ගොනු කරන්නට හැකියාව තිබුණි. එවැනි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නැත. නූතන මාධ්‍ය භාවිතාව සහ ලෝකයේ නවීන මාධ්‍ය ව්‍යුහය ගැන රජය සතු අවබෝධයක තරම එයින් තහවුරු වී තිබේ.

Advertisements