milinda-prashna

2018/02/21 – ලංකාදීප

පලාත් පාලන ඡන්දයට පසු උදා වී ඇති දේශපාලන වාතාවරණය ගැන නොයෙක් අදහස් මතු වී තිබේ. ඡන්දය පැවැත්වූයේ ගම් මට්ටමේ පහලම ඒකකය සඳහාය. නමුත් ආණ්ඩුවේ ඉහළම තැන දක්වා සසල වී තිබේ. මෙරට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥන් විශාල ඝෝෂාවකය. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය එයට එකතු වී ඇත. මාධ්‍ය ජන මතය නියෝජනය කරයි. පොදුවේ ජනමතය පමණක් නොව ෆේස් බුක් හා ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මගින් ඇති කරන පුද්ගලික අදහස් ද එකතුවීමෙන් පසු රට තුළ ඇතිකරන ලද වාතාවරණය කිසිසේත් සන්සුන් එකක් නොවේ.

දේශපාලන බලය තාවකාලික එකකි. ජනතාව සිය නියෝජිතයන් වෙත කැමැත්ත පළ කිරීමෙන් පසු ආණ්ඩුවේ බලය නිර්මාණය වන අතර ජනතාව තමන් වෙත කැමැත්තක් නැති බව තේරුම් යන අවස්ථාවේ දී පාලකයන් එය නිසි සේ වටහා ගත යුතුය. එයට හේතුවක් තිබේ. පරමාධිපත්‍ය ජනතාව සතු එකකි. එය තමන් සතුව ඇති එකක් වශයෙන් බලයට පත් දේශපාලනඥයන් කල්පනා කිරීම නුසුදුසුය.

ආණ්ඩුව කරගෙන යන්නට පමණක් නොව අත් හරින්නට ද  ප‍්‍රබල ආත්ම ශක්තියක් අවශ්‍යය. ජනතාව වෙනුවෙන් භාරකාරීත්වයක් පමණක් උසුලන ආණ්ඩුවකට එය අයිතිකර ගැනීමේ බලයක් තිබිය යුතු නැත. බලය අත් හැරීම ගැන බුද්ධ දේශනාවේ පැහැදිලිව සදහන් කර තිබේ. අනෙක් ආගම් වල ද අයිති කරගැනීම හා නිසි අවස්ථාවේ දී නිසි සේ අත් අත්හැරීම ගැන විග‍්‍රහ කර ඇත. පාලනය ගැන ප‍්‍රතිපත්තිය කෙබදු එකක් ද යන්න ඒවායෙන් පෙන්වා දෙන බලවත් කරුණකි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් අත් හරින්නට අකමැති ඇයි? තවත් කොටසක් අත් හරින සේ බල කරන අතර ආණ්ඩුව අල්ලා ගන්නට මානබලන්නේ මන්ද? ආණ්ඩු බලය යැපෙන්නට හොඳ උල්පතක් වී ඇති හෙයින්ය. ශ‍්‍රී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින බොහෝ රටවල දේශපාලනය බලවත් ධන ආකරයකි. ජනතා සේවයට ඉදිරිපත්වන දේශපාලනඥයෝ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නට කැමැතිය. අමාත්‍යංශයක දේපොල පාලනය කරන්නට සහ ඒවායෙන් ප‍්‍රයෝජන ලබන්නට අතිශය ආසා කරති. ආණ්ඩුව යනු මහජන නියෝජිතයන් නඩත්තු කරන තැනක් බවට පත්ව ඇති අතර යාන වාහන, දීමනා, විදේශ සංචාර ඇතුළු දේ සහිතය. මැති ඇමැතිවරුන්ගේ පවුල් හා ඒ වටා නඩත්තු වන කොට්ඨාශයක් ද බලය අත හැරීම වලක්වන සාධකයකි. පසුගිය දිනවල රූපවාහිනී නාලිකා මැති ඇමැතිවරු අගමැති හා ජනාධිපති නිල නිවසට යන එන අයුරු පෙන්වූ අතර වාහන වල ස්වභාවය අනුව ශ‍්‍රී ලංකාව කිසිසේත් දියුණු වෙමින් පවතින රටක් නොවන බව පෙනේ. එවැනි වාහනයක් පාවිච්චි කරනු සඳහා කොපමණ මුදලක් අවශ්‍ය දැයි පොදු ජනතාවට වැටහීමක් තිබේ. කරුණු මෙසේ හෙයින් බලයේ ඉන්නා ජන නායකයන්ට අත් හරිනු සඳහා තීරණයක් ගත නොහැකිය. ආණ්ඩුවට පිටතින් ඉන්නා පිරිස බලය තමන්ගේ කර ගැනීමට විශාල වෑයමක් දරති. බලය අල්ලා ගැනීම හා අත් හැරීම හැර අන් කාර්යයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැති තරමට ස්වභාවය අතිශය සංකීර්ණ වී තිබේ.

ආත්ම ගෞරවය නොසලකා ධනය හා බලය වෙනුවෙන් සටන් කරන දේශපාලනඥයන් දකින පොදු ජනතාව කම්පා වී සිටිති. පිරිහීමක තරම ගැන කතාකරන්නේ මහත් වික්ෂෝපයෙන්ය. තමන්ගේ නායකයා ගැන කනස්සල්ලෙන්ය. පැරණි දේශපාලනඥයන් තම වත්කම් අත් හරිමින් රට වෙනුවෙන් සේවය කළ බව ජනතාවට මතකය. කිසිදු ලාභ සත්කාරයක් අපේක්ෂා නොකර එඩිතරව සිටි බව සිහිපත් කරති. අත්හරින්නට මැලිකමක් නොදැක්වූ ඔවුහු ජනතා අවශ්‍යතා පළමු තැනෙහි ලා සැලකූහ. නායකයන් ගේ හැසිරිම රට ද ජාතිය ද පිරිහෙන්නට බලපාන එක ප‍්‍රධාන කරුණක් බව සඳහන් කළ යුතුය.

Advertisements