milinda-prashna

ලංකාදීප – 2018/02/01

කැලණිය රජ මහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන දුරුතු පුන් පොහෝ දින පින්කම් මාලාව අධි දුරුතු පොහොය දිනයට යෙදුණි. ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව දක්වන පෙරහැර ඊයේ රාත‍්‍රී වීදි සංචාරය කළේය. අද දස දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වී සිටිති. ගෞතම බුදු රජාණන් වහන්සේ පළමු වතාවේ දී මහියංගනයට වැඩම කරන්නේ දුරුතු පොහොය දිනකය.

දුරුතු පුන් පොහොය දිනය මෙරට බොදුනුවන්ට ඉතා වැදගත්වන්නේ එහෙයින්ය. එම අවස්ථාවේ දී මණිඅක්ඛික නා රජු ගෞතම බුදු රජාණන් වහන්සේ වෙත කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කළේය. එය පිලිගත් බුදු රජාණන් වහන්සේ කැලණිය පූජා භූමියට වැඩම කරන ලද අතර සමනොල කන්දේ සිරිපා සටහනක් ද තබන ලද බව මහා වංශයේ සඳහන්ය. කැලණිය පදනම් කරගෙන විසූ මණිඅක්ඛික රජු නොවේ නම් බුදුන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩම නොකරන්නට ඉඩ තිබුණි. ඇරයුම් කිරීම ගැන කෘතවේදීත්වය පළ කරනු සඳහා මණිඅක්ඛික නා රජු ගේ ප‍්‍රතිමාවක් මෙවර කැලණිය දුරුතු මහ පෙරහැරට නවාංගයක් වශයෙන් එකතු කරන්නට විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණෝ තීරණය කළහ. චිත‍්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ගේ නිර්මාණයක් ඇසුරු කරගනිමින් තායිලන්තයේ දී සකස් කර මෙරටට ගෙන එන ලද මණිඅක්ඛික නා රජ ප‍්‍රතිමාව රජමහා විහාරස්ථානය දක්වා කැලණී ගඟ ඔස්සේ යාත‍්‍රා පෙරහැරකින් ප‍්‍රවේශ කරවීම පසුගියදා සිදුවිය. ප‍්‍රතිමාව ප‍්‍රවිෂ්ඨ කිරීම  වෙනුවෙන් ශිලා ලේඛනයක් ප‍්‍රතිශ්ඨාපනය කරන ලද අතර ප‍්‍රතිමාව වාර්ෂිකව පවත්වන දුරුතු මහා පෙරහැර සඳහා ඇතුලත් කරන බව දැක්වෙයි. කෘතවේදීත්වය වෙනුවෙන් සංස්කෘතිකාංග එකතු කිරීම ඉතා වැදගත් මෙහෙවරකි.

කැලණියට වැඩම කරන ලද බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනාවක් ද කර තිබේ. එය ද අවධානයට ගත යුතුය. ලංකාවත‍්‍ර සූත‍්‍රය සේ එය දැක්වෙයි. කැලණියේ දී බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද සූත‍්‍රය මෙරට බෞද්ධ සමාජය අමතක කර තිබේ. එයට හේතුව එය මහායාන බුද්ධාගමට අයත් සූත‍්‍රයක් සේ වර්ගීකරණයවීමය. ලංකාවත‍්‍ර සූත‍්‍රය චීනය, ජපානය ඇතුළු රටවල බුදු දහමට එකතු වී ඇත. චීන බුද්ධාගම හෙන් බුදු දහම වශයෙන් ද ජපන් බුද්ධාගම සෙන් වශයෙන් ද භාවිතා වන අතර ලංකාවත‍්‍ර සූත‍්‍රය එහි වැදගත් කොටසක් සේ පිලිගැනේ. පෙරදිග රටවල වියට්නාමය හා කොරියාව දක්වා පැතිරී ඇති බුදු දහම තුළ මහායාන පාර්ශවය මෙම දේශනාවට මහත් ගෞරවයක් දක්වති.

කාලය ගත වන විට නිර්මල බුදු දහමට නොයෙක් අංග එකතු වී තිබේ. දහම මගින් අනාවරණය කරන දර්ශනයට සමාන්තරව භක්තිය ඇතිකරන අංග මිශ‍්‍රවීම කාලානුරුපව සිදුවන ලද නමුත් බුද්ධිමත් පරම්පරාවක් වශයෙන් සත්‍ය ගවේශනය කළ යුතුය. මහායාන බුද්ධාගම යනුවෙන් වෙන්කර පසෙකට කරන ලද නමුත් කැලණියේ දී දේශනා කරන ලද බුද්ධ දේශනාව ධර්මයෙන් ඉවත් කළ නොහැකි කොටසකි.

මණිඅක්ඛික නාග රජු ගේ කාර්ය භාරය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනු පමණක් නොව ලංකාවත‍්‍ර Lankavatara Sutra යනුවෙන් සංස්කෘත භාෂාවෙන් දක්වන සූත‍්‍රය සොයා ගෙන එය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගත යුතුය. එය ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවයකි. කැලණිය පුණ්‍ය භූමියෙන් ශී‍්‍ර සද්ධර්මය පැතිරී ලෝකය පුරා විහිදීම පිලිබඳව දක්වන අවස්ථාවකි. මෙරට උරුමයේ එක්තරා කොටසකි. මෙකී කර්තව්‍ය ගවේශනය කිරීමෙහි වගකීමක් මෙරට පර්යේෂකයන්ට තිබේ. අඩුම තරමින් එහි පැරණි ලේඛන ඇතොත් සොයා බලා නිසි සංරක්ෂණයට පියවර ගත යුතුය.

 

Advertisements