milinda-prashna

2018/01/24 – ‍ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින ප‍්‍රවනතා පුරවැසියන්ගේ ආඩම්බරයට හේතු වී නැත. අභිමානයට බරපතල කැළලක් වී තිබේ. නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ වන මෙම වකවානුවේ දී දේශීය දේශපාලන නායකයන් අනාගත පරපුර සඳහා ලබා දෙන ආදර්ශය කණගාටුවෙන් නමුත් ප‍්‍රශ්න කරන්නට සිදුවී ඇත.

ජනතාව සිය ඡන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය   සඳහා තම නායකයන් තෝරා ගනී. ජනතා අවධානය දිනා ගැනීම අරමුණු කරගෙන දේශපාලනඥයන් හැසිරෙන්නට පටන්ගෙන තිබේ. දේශපාලනඥයන් ගේ හැසිරීම ඉතාම කණගාටුදායකය. ආත්මාර්ථකාමී අරමුණු සහ එකිනෙකා අභිබවා නැගී සිටින්නට දරන ඉතාම නරක පිලිවෙල කිසිසේත් සාධාරණීකරනය කළ නොහැකිය. නූතන මාධ්‍ය භාවිතාව සමග දේශපාලනඥයන්ගේ හැසිරීම, කි‍්‍රයාකරන අන්දම පොදු ජනතාවට නිරාවරණය වී ඇත. දේශපාලනඥයන් දරුණු අන්දමට පිරිහී ඇති අතර එම පිරිහීම ක්ෂණයකින් අනාවරණය වන අන්දමට මාධ්‍ය භාවිතාව තාක්ෂණික වශයෙන් දියුණු වී තිබේ. මාධ්‍ය කැමරාව ඉදිරියේ හැසිරෙන දේශපාලනඥයන් එමගින් ජනතා අවධානය අපේක්ෂා කරන නමුත් නිසි චර්යාවක් රහිත බැවින් ජනතාවගේ පිලිකුලට ලක්ව ඇති බව සඳහන් කිරීම සුදුසුය.

මෑත කාලය තුළ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ අත පය වීසි කරමින්, අසභ්‍ය වචන භාවිතා කරමින් සහ එකිනෙකාට දොස් පවරා ගනිමින් හැසිරෙන අන්දම දැක ගත හැකි විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉතාම වැදගත් ලක්ෂණයක් වන අන්‍යයන්ගේ මතය ඉවසන්නට නොහැකි තරම ජනතා නියෝජිතයන් දුබල වී ඇති බව  එහි දී ප‍්‍රකට වන කරුණ බව තේරුම් ගැනීම වැදගත්ය. තම සහෝදර නියෝජිතයාගේ මතය ඉවැසිය නොහැකි දේශපාලකයෙකු ජන සමාජයේ දී විරුද්ධ පක්ෂයක සාමාජික රටවැසියෙකුට සමානාත්මතාවයෙන් යුතුව සලකන්නේ කෙසේද? රට එකතු කර සමාජය පොදු අරමුණකට ඒකරාශී කර නව ජීවනයක් ඇති කළ හැක්කේ කෙසේද?

දේශපාලන වේදිකාවේ දී හා පාර්ලිමේන්තුවේ දී හැසිරෙන අන්දම මාධ්‍ය වලින් පළ කරන විට ඒවා දකින මහජන නියෝජිතයන්ට තමන්ගේ හැසිරීම ගැන ආඩම්බර විය හැකි ද යන්න පොදු ජනතාවට ඇති ප‍්‍රශ්නයකි. රූපවාහිනි නාලිකා වලින් හෝ සමාජ මාධ්‍ය වල වීඩියෝ දර්ශන වලින් පෙන්වන විට මෙරට බහුතරයක් ජනතාව එම වීරත්වය අගය කිසිසේත් කරන්නේ නැත. නමුත් නායකයන්ගේ සිට ආධුනික දේශපාලනඥයා දක්වා යටි ගිරියෙන් කෑගසාගනිමින් සහ ගහ බැනගනිමින් ඉන්නේ එම හැසිරීම අඟනා බව හිතමින්ය. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ට හා  පර්යේෂකයන්ට ද වගකීමක් තිබේ. දේශපාලනඥයන් ඇතුළු මෙරට යම් යම් කොටස්  මාධ්‍ය භාවිතාවට ගොදුරු වී තිබේදැයි විමර්ෂණය කළ යුතුය. අශෝභන, ප‍්‍රචණ්ඩ මහ විකාරරූපී හැසිරීම මාධ්‍ය රූප රාමු වලට ගැලපෙනවායැයි හිතන තත්ත්වයට පත්ව ඇත් නම් එය වහා නිවැරදි කළ යුතුය. එය මාධ්‍ය ප‍්‍රධානීන්ගේ වගකීමකි.

මාධ්‍ය කැමරාව තමන් ඉදිරියේ ඇති බව හොඳටම දන්නා දේශපාලනඥයන් කරන හැසිරීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. පක්ෂ නායකයන් සිය මැති ඇමැතිවරු කරන කියන දේ සොයා බලා විනයානුකූල පැවැත්මක් උදෙසා අවවාද කරන්නට අවශ්‍යය. මෙම හැසිරීම දකින අලූත් පරම්පරාව මාධ්‍ය අවධානය ගැනීම සඳහා වගවිභාගයක් රහිතව හැසිරෙන්නට අවශ්‍ය යැයි තේරුම් ගැනීම බරපතල වරදකි. සමාජයේ ගෞරවය දිනා ගැනීම හැර ජනතාවගේ අවඥාවට ලක්වීම කිසිසේත් වැදගත් නැති බව නවක පරපුරට පෙන්වා දෙන්නට අවශ්‍යය.

 

 

 

Advertisements