milinda-prashna

2018 /01/ 17 – ලංකාදීප

ජගී වාසුදේව ඉන්දියාවේ යෝගීවරයෙකි. සත්ගුරු නමින් ප‍්‍රකටය. යෝග උපදෙස් පමණක් නොව අධ්‍යාත්මික දර්ශනයක් ද පතුරවයි. සමාජ උද්දීපනයෙහි නිරත එම යෝගීවරයා කළමණාකරන උපදේශක සේවාවෙහි ද යෙදේ. නොබෝදා සත්ගුරු කරන ලද ප‍්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වී තිබේ.
‘‘ජන නායකයෙකු සේ දේශපාලනයේ ඉදිරියට එන්නට කිසිවක් කළ යුතු නැති’’ බව කියන යෝගීවරයා විරෝධතා හෝ අරගල ඇවිලීම හොඳටම ප‍්‍රමාණවත් බව කියයි. උපහාසයෙන් කියන නමුත් එකී අදහස තුළ ප‍්‍රබල පරිකල්පනයක් තිබේ. ‘‘පාරක් හදන්න අවශ්‍ය නැත. එය හදනවාට විරුද්ධ වෙන්න. බලාගාරයක් ඉදි කළ යුතු නැත. එය ගොඩනැගීමට එරෙහිව ව්‍යාපාරයක් පටන් ගන්න.’’ එසේ දක්වන හෙතෙම ‘‘ජනතාව විරෝධතා කරුවන් නායකයෝ වශයෙන් තෝරා ගනු ඇති’’ බව කියයි. ‘‘නිවාස, පැය විසි හතරටම විදුලිය තව තවත් දේ ජනතාවට අවශ්‍යයි. නමුත් ඒවා ඇති කරන්න හදන විට නිර්මාණශීලී විසදුමක් යොජනා නොකරන අය කරන්නේ විරුද්ධවීම’’ බව පෙන්වාදෙන සත්ගුරු එයට හේතුව ද පැහැදිලි කරයි. ‘‘අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මහත්මා ගාන්ධි විරෝධතා සහ සත්‍යග‍්‍රහ කළ අතර ඒවා කරන ලද්දේ ඝාතනය, තුවක්කු හෝ බෝම්බ වලින් නොවේ. සාමකාමීවය. ඒවා ඒ දවස්වල ඉතාම විශිෂ්ඨ අදහස්ය. අධිරාජ්‍යවාදීන් පලවා හැර නිදහස දිනාගැනීමට ගාන්ධි කළ විරෝධතා අලූත් මුහුණුවරකින් අපි අපේම නායකයන්ට එරෙහිව පළ කරමින් සිටින අතර එය නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ හැඟීම් වෙනස් වී ඇති අන්දම’’ බව පෙන්වා දෙයි.
කෝච්චිය නවත්වන්න. එතැන වීරයෙක් බිහිවෙයි. විදුලිය බලාගාරයක් හෝ තාප බලාගාරයක් ගොඩනැගීමට විරුද්ධ වෙන පුද්ගලයා නායකයෙකි. වර්ජනයක් මෙහෙයවන්නා විශාල චරිතයකි. මොනවා හෝ කරන පුද්ගලයා විශාල වංචාකාරයෙකි. දේශය ඉදිරියට ගෙන යාම නරකය. රට නතර කිරීම හොඳය. මහත්මා ගාන්ධි කරන ලද අරගලය අපි වැරදි අන්දමට තේරුම්ගෙන ඇති බව සත්ගුරු ගේ අදහසයි.
‘‘මම රහසක් කියන්නම්’’හෙතෙම අවසාන වශයෙන් කියයි. ‘‘සිය දෙනෙක් එකතු කරගෙන පාරක් වහන්න. හෙට වීරයෙක් විය හැකිය. පුරවැසියන් කරුණු වැරදියට වටහා ගෙන තිබේ. මොනවා හෝ නවත්වන කෙනා නායකයෙකු නොවේ. මොනවා හෝ කරන කෙනා නායකයෙකි.’’ සත්ගුරු පෙන්වා දෙයි.
ජගී වාසුදේව යෝගීවරයා දක්වන මෙම අදහස ගැන අවධානය යොමු කිරීම සුදුසුය. රට තුළ යමක් කරන්නට උත්සාහ කිරීම එකකි. එය නතර කරන්නට විරෝධය පළ කිරීම අනෙකකි. මොනවා හෝ කරන්නට කැපවීමක් ඇති පුද්ගලයා නරක කෙනෙකු කර විරෝධතා අවුලවන අය වීරයන් බවට පත් කරන්නේ ඇයි? විකල්ප අදහසක් වශයෙන් මේ ගැන හොඳට හිතන්නට අවශ්‍යය.
නිදහස ලැබීමෙන් අනතුරුව ගත වූ වසර හැත්තෑවකට ආසන්න කාලය තුළ අප සියළු දෙනාම ඉදිරි ගමන නතර කරන අය වීරයන් සේ සලකා තිබේ. ඉදිරි ගමන වෙනුවෙන් මොනවා හෝ අලූත් දෙයක් කරන්නට තැත් කිරීම කිසිම විචාරයකින් තොරව නිග‍්‍රහයට ලක් කර ඇත. වර්ජන, විරෝධතා, කැරුළි සහ මාරාන්තික උපවාස කරන අය විශාල චරිත බවට පත්ව තිබේ. ඝෝෂාවෙන් හෝ වෙනත් ආකාරයකින් මතු වෙන්නට ප‍්‍රයත්න දැරීම ප‍්‍රවනතාවයක් වී තිබේ. අද සිදුවන්නේ එයයි. ආණ්ඩුවේ හෝ පුද්ගලික අංශයේ මොනවා හෝ අලූත් දෙයක් වෙනසක් ඇතිකරන්නට ප‍්‍රයත්න දැරීම පහසු නැත. සමාජ පැවැත්ම වෙනස් කරන්නට උත්සාහ කිරීම දුෂ්කරය. විරුද්ධවීම ක්ෂණිකව කළ හැකිය. ගැටුම ඇතිකරන්නට පුලූවන් කමක් තිබේ. විරුද්ධ වන අය නායකයෝ වන අතර යමක් කරන්නට හදන තැනැත්තා අපහසුතාවයට පත්වෙයි.

Advertisements