milinda-prashna

2018/01/10 – ලංකාදීප

නව වසරේ පළමු මාසයෙන් තුනෙන් එකක් අවසන්ය. හිරු නැගී බැස ගිය පසු දවසක් නිමා වෙයි. දවස් ගණන් ගෙවී ගිය පසු වසරක කාලයක් හමාර වන බව අලූත් දෙයක් නොවේ. වසරක් උදා වන විට බලාපොරොත්තු වෙනස් එකක් බවට හැරේ. පවතින ජීවන රටාවට වඩා යහපත් වනු සඳහා කිසියම් පරිවර්තනයක් අපේක්ෂා කරයි. එය දියුණුව වශයෙන් සැලකේ.

දශක හතකට කලින් ලංකාව යටත් විජිතයකි. බි‍්‍රතාන්‍යයට යටත්ව සිටියේය. නිදහස ලබා දශක හතක සතුට සමරනු සඳහා තවත් සති හතරකට වඩා කාලයක් ඉතිරි වී නැත. අධිරාජ්‍යවාදීහු ලංකාවේ වැසියන් ගේ ස්වාධීන ජීවන අයිතිය පැහැර ගත්හ. බටහිර ග‍්‍රහනයෙන් මිදීම නිවහල් භාවය යැයි ලංකාවේ ජනතාව විශ්වාස කළෝය. අනුන්ගේ අණට යටත්නැති තමන්ගේ රටක තම ව්‍යුහයක් සකස් කරගත හැකි යැයි අපේක්ෂා කරන්නට ඇත. ස්වදේශික පාලන ක‍්‍රමයකින් ප‍්‍රසන්න, සැනසිලිදායක ජීවිතයක් බලාපොරොත්තු වූ බව නිසැකය. ඒවා සඵල කරගත හැකි වී තිබේද?

ජීවිතය ගැන තෘප්තිමත් ද යන ප‍්‍රශ්නය සාමාන්‍ය පොදු ජනතාවගෙන් ඇසුවහොත් සෘජු උත්තරයක් ලැබෙන්නේ නැත. පහසු නැති අතර එහි ඇති ව්‍යාකූලභාවය ගැන දීර්ඝ විස්තරයක් කරනු නිසැකය. වැඩට යන, හවසට ගෙදර එන අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වන වැඩි දෙනෙකු කරන්නේ චීන බත් පාර්සලයක් හෝ පාන් වැනි දෙයක් සමග මදුරු කොයිල් එකක් සහ රුපියල් සියයක රී ලෝඞ් එකක් මිල දී ගැනීම බව ප‍්‍රකට කාරණයකි. ප‍්‍රධාන නගරවල හවසට වැඩිම තදබදයක් ඇති ස්ථාන දෙකක් තිබේ. එකක් මත්පැන් අළෙවි කරන ස්ථානයයි. අනෙක ඔසු හල බව සඳහන් කළ හැකිය. මත් ද්‍රව්‍ය කෙරෙහි රට තුළ බරපතල විරෝධයක් ඇති නමුත් ජනතාව එයට යොමුවෙන්නේ ඇයි? බාල, තරුණ වැඩිමහළු වැඩි දෙනෙකු බෝ නොවන රෝග වලට ගොදුරු වී ඇත්තේ මන්ද? ජනතාවගෙන් සෑහෙන කොටසක් විනෝදාංශයක් වශයෙන් කරන්නේ රූපවාහිනී නාලිකාවක ඉදිරියේ වාඩිවීමය. බහුතරයක් නොවෙතත් සමාජයේ එක්තරා ස්ථරයක පැවැත්ම මෙයට නොවෙනස් බව සදහන් කළ යුතුය.

සරල ජීවිතයක්, පහසුවෙන් ගත කරන අරමුණ ඇති මෙරට වැසියන්ගේ පැවැත්ම ඉතාම සංකීර්ණ එකක් වී තිබේ. අපිලිවෙල එහි බහුලය. ඇති නැති පරතරය ඉහළ නැග ඇති අතර ධනය පමණක් නොව බලය හා තරාතිරම ද පොදු ජනතාව තලා පෙලන අංශ බවට පත්ව ඇත. මෙකී කටුකභාවය හමුවේ ලෝකයේ වෙනත් රටකට කෙසේ හෝ පැන ගොස් ස්වකීය අනාගතය සාක්ෂාත් ගැනීම, විශේෂයෙන් තරුණ පරපුර ඉලක්ක කරන කාරණය වී තිබේ.

මෙවැනි පැවැත්මක් සුදුසු නැත. පවතින රාමුව වෙනස් කිරීම අවශ්‍ය බව නව වසර ආරම්භයේ දී අවධානයට ගත යුතු පැත්තකි. සමාජයේ සෑම ජන කොටසකට සාධාරණ අවස්ථා සම්පාදනය කළ යුතුය. දක්ෂතාවය අනුව ඉදිරියට එන පසුබිමක් සකස් කිරීම අවශ්‍යය. ජාතික සේවය හා රට වෙනුවෙන් කැපවීම යන ආකල්ප හදවත් තුළ තහවුරු කරන ප‍්‍රතිපත්ති අවශ්‍යය.

ජාතික හා ආගමික නායකයන් අලූතින් හිතන්නට අවශ්‍යය. සමාජ නායකයන් පවතින විෂමතා ගැන බරපතල විවේචනයක් කිරීම සුදුසුය. නිදහසින් පසු ගත වූ වසර හැත්තෑව තුළ ගමන ගැන සාධාරණ සංවාදයක් ගොඩනැගීමට වග බලා ගත යුතුය. සොබා සම්පත් වලින් අනූන, දක්ෂ මානව සම්පතක් ඇති ශ‍්‍රී ලංකාව පත්ව ඇති ස්වභාවය කෙරෙහි අප සියළුදෙනාම තද අවධානයක් යොමු කළ යුතු කාලය උදා වී තිබේ. පරිවර්තනයක් සිදුවිය යුතු මොහොත කරා අප සමීප වී සිටිමු.

 

 

Advertisements