milinda-prashna

2017/11/22 – ලංකාදීප

ඇමැතිවරු අවශ්‍ය ඇයි? හදවතට එකඟව උත්තරය සොයාගත යුතු ප‍්‍රශ්නයකි. කැඩපතක් ඉදිරියට එන ඇමැතිවරුන් ද තමන්ගෙන්ම ප‍්‍රශ්න කළ යුතුය. ඇමැතිකමක් ලබාගත්තේ ඇයි සහ එයින් රටට හා ජනතාවට කරන සේවාව ගැන තෘප්තිමත් දැයි  විමසීම සුදුසුය. මහජන ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගේ එකම අරමුණ ඇමැතිකමකි. ඡන්ද දායකයන් ද තමන් ඡන්දය දුන් නියෝජිතයා ඇමැතිවරයෙකු වන තුරු බලාගෙන සිටී. දේශපාලන පක්ෂ නායකයන් ගේ අවධානය තම සගයන්ගේ දක්ෂතා නොවේ. මොනයම් හෝ ඇමැතිකමකට පත් නොකළහොත්, කළකිරීමට පත්ව පක්ෂ මාරුකරන්නට ඇති අවදානමය. ඇමැති ධුරයකට පත් වූ පසු වෙන්දේසිය තියුණුය. ජ්‍යෙශ්ඨ ඇමැති තනතුරු අවශ්‍යය. එය වෙන්දේසියකි. අවසානයේ දී පාර්ලිමේන්තුවට පත් වන සියළු දෙනාම ඇමැතිවරුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය රට තුළ අවුරුදු හැත්තෑවක් පරිනත වී තිබේ. උපයාගෙන ඇති වටිනාකම් වශයෙන් පෙන්වන්නට ඉතිරිවී ඇති කරුණු අතර ඇමැති ධුර වෙන්දේසිය ද එකක් යැයි සිතේ.

ඇමැතිවරු බහුතරයක් තම විෂය ගැන දන්නේ නැත. ධුරයට පත් වූ පසු සම්ප‍්‍රදායට කොටු වෙයි. නිල රථයෙන් යන ගමන් බිමන් අතර ඡන්ද දායකයන්ගේ මගුල් සහ අවමගුල් ඇතුළු දේ තිබේ. නිතර රැස්වීම්ය. පාක්ෂිකයන් උත්තේජනය කරන කතා ඒවායේ දී කළ යුතුය. මාධ්‍යයට ගැලපෙන කැපිලි වචනයක් දෙකක් තිබිය යුතුමය. ඒ අතරවාරයේ නිතර නාදවෙන දුරකථනයට ද උත්තර නොදුන්නොත් ප‍්‍රශ්නයකි. ඇමැති ධුරයට පත් වූ පසු පාර්ලිමේන්තු සැසියට ද සහභාගී වෙන්නේ ඉඩක් ලැබුණොත් පමණකි. මෙවැනි පසුබිමක් ශ‍්‍රී ලාංකිකය් වශයෙන් ආඩම්බර විය හැකි එකක්ද?

නොබෝදා නෙදර්ලන්තයේ අලූත් ආණ්ඩුව නව ඇමැති මණ්ඩලයක් පත්කරගත්තේය. එහි ඇමැතිවරු දහසය දෙනෙකි. එයින් හයදෙනෙකු කාන්තාවෝය. නෙදර්ලන්තයේ මිලියන දහහතක ජනගහනයක් වෙසෙන අතර එය යුරෝපා කලාපයේ වැඩිම ජනගහනය ඇති රටවල් ලැයිස්තුවේ අටවැනි තැන සිටී. මිශ‍්‍ර ආර්ථිකයක් ඇති ලෝකයේ රටවල් 177 ක් අතරින් 17 වැනි දියුණු ආර්ථිකය සේ සලකන නෙදර්ලන්තය ජන මාධ්‍ය නිදහස අතින් ඉහළම තැනක් පවතින බව සඳහන් කළ යුතුය. ලෝකයේ ආකල්ප අතින් දියුණු රටවල් අනුව යමින් නෙදර්ලන්තය ද නූතන ව්‍යුහයට ගැලපෙන විෂයානු බද්ධ අමාත්‍ය ධුර ප‍්‍රමාණයක් තෝරාගෙන තිබේ.

නෙදර්ලන්තයේ රජකමට පත්ව සිටින විලියම් ඇලෙක්සැන්ඩර් ගේ ධුරය ව්‍යවස්ථාවට අනුව සංකේතාත්මක වන අතර අගමැති මාක් රූටේ අමාත්‍ය විෂයයන් භාරගෙන නැත. උප අගමැතිවරු තිදෙනෙකි. උප අගමැතිනියක වන කජේස් ජාත්‍යන්තර කටයුතු හා රාජකීය සම්බන්ධතා ඇමැතිනියයි. දෙවැනි උප අගමැති හුගෝ මහජන සෞඛ්‍ය හා ක‍්‍රීඩා ඇමැතිවරයාය. තෙවැනි උප අගමැතිනිය වන කැරොලා කෘෂිකර්මය හා ආහාර තත්ත්වය සම්බන්ධ ඇමැති ධුරය උසුලන්නීය. ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපන, ජලය පිලිබඳ යටිතල පහසුකම්, නීති හා විධිවිධාන, මුදල්, ආරක්ෂක, දේශගුණ හා ආර්ථික කටයුතු සහ විදේශ වානිජ, රැකියා හා සමාජ තත්ත්ව සහ ආර්ථික සහයෝගීතා ආදී වශයෙන් අමාත්‍යංශ විෂය වෙන් කර තිබේ. මෙම විෂයයන් වෙන් කර ඇති ස්වභාවය ද ශ‍්‍රී ලංකාව වැනි රටකට නුහුරුය. ඇමැතිධුරයක් සඳහා නමක් අවශ්‍ය වන විට දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් එහි මුල් නමින් භාරදෙන තරමට ආණ්ඩු පාලනය පත්වී ඇති රටකට මෙපමණ සුළු කැබිනට් මණ්ඩලයකින් රට පාලනය කරන්නේ කෙසේද යන ගැටළුව මතු වන බව නිසැකය.

නෙදර්ලන්තයේ මහජන නියෝජිතයන් ගේ ගණන එකසිය පණහකට සීමා කර ඇති අතර එයින් දහසය දෙනෙකු ඇමැතිවරු වන විට පාලනය කොපමණ සරල සහ විධිමත් එකක් දැයි කල්පනා කිරීම සුදුසුය. අලූත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරනු ඇති අතර සෙනෙට් මණ්ඩලයක් ද පත් කෙරේ. එහි තව තවත් ඇමැතිවරු පත් කෙරෙන්නට ඉඩ තිබේ. රාජකාරියක් නිසි ලෙස ඉටු නොකරන සියළු දෙනා නඩත්තු කරන්නේ මහජනතාවයි. ජන වර්ග අනුව උප අගමැතිවරු දෙදෙනෙකු සහිත නිශ්චිත විෂයයන් සහිත කුඩා  ඇමැති මණ්ඩලය ශ‍්‍රී ලංකාව දියුණුකරන්නට මගකි.

Advertisements