milinda-prashna

2017/11/15 – ලංකාදීප

පොල්, පුවක්, කිතුල් සහ තල් යන තාල වර්ගයට අයත් එකම ගස් විශේෂ ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාලය පැමිණ තිබේ. කිසියම් ආකාරයකින් මෙම ආර්ථික භෝග විශේෂ හතර මෑත කාලය තුළ නොසැලකිල්ලට  ලක්ව තිබේ. එහෙයින්  විනාශවීමේ තර්ජනයට ලක් වී ඇත. වැවිලි කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සීමා වී ඇති අවස්ථාවක මෙම ඵලදායී ශාඛ විශේෂ නැවත පුනර්ජීවනයකට ලක් කරන්නේ කෙසේදැයි විමර්ෂණය කළ යුතුය. ඒවා ව්‍යවසායකත්වය නංවන කෘෂිකර්මයක් සේ දියුණු කරන්නට අවධානය ලක් කිරීම සුදුසුය.

මෑත කාලය තුළ පොල් වගාව පැති දෙකකින් තර්ජනයකට ලක් විය. එකක් ඉඩම් කැබලිකර වෙන්දේසි කිරීමයි. සෑහෙන ප‍්‍රමාණයක් පොල් ඉඩම් කැබලි කරන ලද අතර කුඩා ඉඩම් වල තිබුණ පොල් ගස් කපා නිවාස ඉදිකිරීම සාමාන්‍ය සිද්ධියක් විය. අනෙක රතු කුරුමිණි සහ පොල් කුරුමිණි හානියයි. පුවක් ගස ආර්ථික වශයෙන් නොසලකා තිබුණ කාලයේ දී සියළුම උත්සව වලට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කපා බිම හෙලන ලද අතර තල් ගස වඩා බිලිවූයේ යුද්ධයට බව සඳහන් කරනු වටී. යුද්ධය පැවැති තිස් වසරක කාලය තුළ මිලියන ගණනක් තල් ගස් හානියට පත්ව තිබේ. ඒවා කපා බංකර හැදීම ත‍්‍රස්තවාදීන් පමණක් නොව ආරක්ෂක හමුදාව ද කරගෙනගිය දෙයකි. යුද්ධයක් පැවති අවස්ථාවක තල් ගස් ආරක්ෂා කිරීමට අවධානය යොමු කිරීම පලක් නැති නමුත් සාමකාමී යුගය තුළ තල් ගස නැවත ආර්ථික භෝගයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගැනීම සුදුසුය. කිතුල් ශාඛයෙන් ගත හැකි ප‍්‍රයෝජන ගැන ප‍්‍රමාණවත් අවධානයක් සමාජයට ඇත. කිතුල් ශාඛය ද ආර්ථික වටිනාකම සලකා ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැඩි අවධානයක් අවශ්‍යය.

රටට අනන්‍ය වැවිලි ක්ෂේත‍්‍ර ගැන අලූතින් අවධානය යොමු කළ නොහැක්කේ මන්ද? තේ, රබර් සහ පොල් මහා පරිමානයෙන් වගාව ඇරඹෙන්නේ යටත් විජිත කාලයේ දීය. අධිරාජ්‍යවාදීන් සිය මවු රටවල අවශ්‍යතා වෙනුවෙන් මෙම භෝග වගා කර නැව්ගත කරන ලද අතර සියවස් එකහමාරකට පසු පවා එම රාමුවෙන් බැහැර වෙන්නට ශ‍්‍රී ලංකාවට නොහැකි වී තිබේ. තේ සහ රබර් මෙරට වැවිලි ආර්ථිකයේ ප‍්‍රධාන තැනක පවතින අතර පොල් නිෂ්පාදන අපනයනය ක‍්‍රමයෙන් සීමා වන බව පෙනේ. වගාව පිරිහීම පොල් ගෙඩියක මිල ඉහළ නැගීමට ද එක හේතුවකි.

පොල්, පුවක්, කිතුල් සහ තල් යන භෝග ආර්ථික ප‍්‍රයෝජනය සලකා මහා පරිමානයෙන් වගා කළ හැකිය. ප‍්‍රයෝජනයට ගෙන නැති විශාල ඉඩම් තෝරාගෙන වගා කරන්නට කැමැති පිරිස දිරිගැන්වීමට හැකියාවක් තිබේ. එය අලූත් ආර්ථික අවස්ථාවක් වනු නිසැකය.

රජයේ මැදිහත්වීමෙන් උසස් වර්ගයේ පොල් පැල වගා කිරීම ස`දහා බෙදා දෙන අතර කිතුල් වගාවට ද අවධානයක් යොමු වී තිබේ. තල් වගාව සංවර්ධනය වෙනුවන් අධිකාරියක් ද ඇත. පුවක් ගැන උනන්දුවක් නැති අතර මෑත කාලය තුළ පුවක් ආනයනය හා ප‍්‍රතිඅපනයනය ලාබදායී ව්‍යවාසයක් බවට පත් වූ බව සඳහන් කරන්නට අවශ්‍යය. රජය ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතු අතර ජනතාව මෙම භෝග ගැන පවතින ආකල්ප වෙනස් කරගන්නට සූදානම් විය යුතුය.

තේ, රබර් හෝ අලූතින් මහා පරිමානයෙන් වගා කරන්නට වැවිලි සමාගම් පෙළඹී ඇති කටුපොල් වැනි භෝග වලට එපිටින් තවත් වාසි සහගත පැති පවතින බව තේරුම් ගැනීම අවශ්‍යය. කිතුල්, තල් සහ පුවක් ඒ අතර ප‍්‍රධාන තැනකය. අස්වැන්න සඳහා ගත වන කාලය තම ඉඩම් වල මෙම භෝග වගා කිරීම සඳහා අවධානය අඩුවීමට බලපා ඇති එක හේතුවක් බව පෙනේ. ප‍්‍රධාන භෝගයක් වශයෙන් පමණක් නොව වතු සීමාවේ ආරක්ෂිත අතිරේක වගාවක් වශයෙන් කිතුල් හා පුවක් වගා කළ හැකිය. තල් වගා කළ හැකි විශාල බිම් ප‍්‍රමාණයක් තෝරාගත් ප‍්‍රදේශ වල තිබේ. උසස් අස්වැන්නක් දෙන කෙටි කාලීන විශේෂ වශයෙන් මෙම භෝග වැඩි දියුණු කළ හැකිනම් වැවිලි භෝග වගා කරන ජනතාවගේ අවධානය නැංවිය හැකිය. කෘෂි පර්යේෂකයන් එය ගැන අවධානය යොමු කළ යුතු අතර ස්මප‍්‍රදායික යටත් විජිත වැවිලි රාමුවෙන් මිදෙන්නට මෙය වටිනා අවස්ථාවක් කරගත යුතුය.

Advertisements