milinda-prashna

2017.09.20 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි. ජීවන මටට්ම හොඳ තැනෙකට පත්වන තෙක් රට තුළ වියදම පාලනය කරගැනීම හා තමන්ට ලැබෙන මුදල කළමණාකරණය ගැන උනන්දුවක් දැක්වීම වැදගත්ය.

එනමුත් ආහාර පාන සම්බන්ධයෙන් ඇති නැති පරතරය සමාජ විෂමතාවය ඇති කරන එක කාරණයක් දක්වා වැඩි දියුණු වී ඇති බව පෙනේ. ධනය ඇති පිරිස සිය පුද්ගලික ආහාර පරිභෝජනය වෙනුවෙන් වැය කරන මුදල පාලනය කරන ලෙස බල කළ නොහැකිය. සමාජයේ එක කොටසක් අවශ්‍යම ආහාර මිල දී ගැනීමට නොහැකි පසුබිමක ජීවත්වන බව තේරුම්ගෙන ක‍්‍රියා කිරීම වැදගත්ය.

දියුණු වන රටක වැසියන් වශයෙන් ස්වකීය උත්සව සහ සම්භාෂණ වල දී ආහාර වෙනුවෙන් කරන වියදම ද මෙහි දී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයකි. විශේෂයෙන් තරු හෝටල වල පවත්වන්නට හුරු වී ඇති මංගල උත්සවයක එක වේලක මිල රුපියල් තුන් හාර දහසක සිට දස දහස් ගණනක් දක්වා වී තිබේ. මෙම මිල උත්සවය සංවිධානය කරන මැදි ආදායම් මට්ටමක යුවලට පමණක් නොව සහභාගීවන ආරාධිතයන්ට ද ප‍්‍රශ්නයකි. මධ්‍යස්ථව සොයා බලන විට විශාල උත්සව, අධික මිල ආහාර වේල පමණක් නොව ඒවායේ සමරු සඳහා කරන වියදම වානිජ පෙළඹවීමක ප‍්‍රතිඵලයකි. මැදි ආර්ථිකයේ ජීවත්වන සාමාන්‍ය පිරිස මෙහි ගොදුරක් වී තිබේ. එය කොපමණ නරක තත්ත්වයක් දැයි සලකා බැලීම යුක්ති සහගතය.

තරු හෝටලයක මංගල උත්සවයකට ඇරයුම් කරන්නේ පවුලේ ඥාතීන් සීමිත  පිරිසකටය. එයින් බෙදීමක් ඇති වෙයි. ආරාධිතයන් ද මෙම හොද අවස්ථාවට සහභාගී වෙන්නේ මෙපමණ නාස්තියක් අවශ්‍ය නැති බව හිතමින් බව නිසැකය. වියදම් පාලනයක් රහිත මෙවැනි උත්සව කරන්න්නට පෙළඹෙන්නේ ඉගෙනගෙන එක්තරා සමාජ අවබෝධයක යුතු පිරිසක් වීම විශේෂයෙන් සලකා බැලිය යුතුය. එක වේලක් වෙනුවෙන් එක මොහොතකට කරන ආහාර නාස්තිය හා වියදම තමන්ගේ ජීවිත කාලයටම ගෙවන බරපතල වන්දියක් බවට පත්විය හැකි බව කල්පනා නොකිරීම ගැටළුවකි.

උත්සව හා ප‍්‍රිය සම්භාෂණ වල දී කරන වියදම, විශේෂයෙන් අසීමිත ධන නාස්තිය රටට නොගැලපෙන බව සිතන්නට අවශ්‍යය. තරුණ පිරිස තම අභිලාශ ගැන තේරුම් ගෙන ක‍්‍රියා කිරීමෙන් වානිජ පරමාර්ථ පෙරටු කරගත් ප‍්‍රචාරක රැල්ලෙන් ගැලවිය හැකිය. ලෝකයේ වෙනත් රටවල එනම් ඇමරිකාව, බි‍්‍රතාන්‍ය පමණක් නොව තායිලන්තය වැනි රටවල ද ආහාර, නිවාස හා ඇදුම් වැනි මූලික අංශ ඉතාම අඩු ආදායමක් ලබන පිරිසට ද දරාගත හැකි සේ මට්ටම් සකස් වී තිබේ.

පුද්ගල උත්සව පමණක් නොව රජයේ වියදම් ගැන ද මෙහි දී සඳහන් කළ යුතුව තිබේ. විවිධ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනුබද්ධ ආයතන නිතිපතා උත්සව පවත්වයි. ඒවා වෙනුවෙන් කරන වියදම කොපමණ දැයි අවධානයට ගැනෙන්නේ නැත. ආණ්ඩුවේ උත්සවයකට සහභාගී වන පුරවැසියන්ට එය චාම් හා අඩු වියදමකින් කරන ලද එකක් බව තහවුරු කරගැනීම සුදුසුය. මන්ද එකී සියළු වියදම් මහජන මුදල් හෙයින්ය. ජනතාවගෙන් එකතු කරන බදු රටවැසියන්ගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් උපරිම වශයෙන් ප‍්‍රයෝජන ගත යුතුය. එයින් සෑහෙන ප‍්‍රතිශතයක්, උත්සව සැරසිලි, වර්ණනා සහ අධික වියදමක් වැය කරන ආහාර වෙනුවෙන් කරන විට ඒවා ගෙවන්නේ පුරවැසියන්ය. එහෙයින් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් තමන්ගේ උත්සවයක් පමණක් නොව රාජ්‍ය උත්සවයක් දෙස පවා අඩු වියදමකින් කරන ආකල්පයකින් සලකා බැලීම සුදුසුය.

 

Advertisements