milinda-prashna

2017/08/23 – ඉරිදා ලංකාදීප

අගෝස්තු පාසල් නිවාඩු කාලය ලැබී සති දෙකක් හමාර වී ඇත. පාසල් දරුවන්ට අධ්‍යයන වසර ඇතුලත වාර තුනක නිවාඩු කාලයක් ප‍්‍රකාශයට පත් කරයි. එම නිවාඩු දෙන්නේ කුමකට ද යන ප‍්‍රශ්නය දෙමාපියන්ගෙන් අහන්නට සිදුවී තිබේ. මන්ද පාසල් වාර නිවාඩුව ප‍්‍රකාශයට පත් කර ඇති නමුත් දරුවන්ගේ ඉගෙනීම අඩු කරන්නට සූදානමක් නැති බව පෙනෙන හෙයින්ය. පාසල් නිවාඩුවක් දෙන්නේ අවුරුද්ද හෝ අනෙක් ශිෂ්‍යයින්ට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග පැවැත්වෙන නිසා නොවේ. පොත පතෙන් බැහැර ඉගෙනීමක් ද ඇති හෙයින් විවේක ගෙන එහි නියැලෙන්නට බව පෙන්වා දිය යුතුය. නමුත් දෙමාපියන්ට, විශේෂයෙන් මවුවරු සිය දරුවන්ට නිවාඩු කාලයේ දී ද විවේක දෙන්නට සූදානම් නැත. එය බලවත් ප‍්‍රශ්නයකි.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ඉතාම දරුණු තරගකාරී ස්වභාවයක් ගෙන තිබේ. ළදරු පාසලේ සිට අතිරේක පන්ති එනම් ටියුෂන් ක‍්‍රමය හිස ඔසවා ඇත. අනෙක් දරුවාට කලින් පොත පත හදාරා වැඩි ලකුණු වෙනුවෙන් සූදානම් නොවුනහොත් අනාගතයක් නැති බව සමාජය තුළ තහවුරු වී ඇති එක මතයකි. හොඳ පාසලකට ඇතුලත්වෙන්නට දේශපාලන බලපුලූවන්කාරකම අවශ්‍යය. ධනය හෝ බලය නැත්නම් ශිෂ්‍යත්වය එක්තරා සාධාරණ අවස්ථාවකි. ඉගෙනගෙන ඉදිරියට යන්නට නම් ටියුෂන් හැර අන් පිහිටක් නැති වත්මන් සමාජයේ එක්තරා කොටසක් නිවාඩු කාලයේ ද දරුවන් පොළඹවන්නේ පොත පතටය. එය අකාරුණික නමුත් දෙමාපියන්ට වෙනත් කළ හැකි දෙයක් නැත. එහෙයින් වාර නිවාඩුව ප‍්‍රකාශයට පත් කිරීම පමණක් නොව එය භුක්ති විඳින වරප‍්‍රසාදය රට වැසියන්ට තිබේදැයි සොයා බැලීම ද වැදගත්ය.

පොත පත නිසි පමණකට අධ්‍යයනයෙන් පමණක් හොඳ පුරවැසියෙකු බිහි වෙන්නේ නැත. යහපත් ඉගෙනුම හා සමාන්තරව විෂය පරිබාහිර කටයුතුවලට ද අවධානය යොමු කළ යුතුව ඇත. නිවාඩු කාලයේ දී  අපේක්ෂා කරන්නේ එයයි. පවුලේ අය සමග එකතු වී ආගමික සංස්කෘතික බැඳීම් ඇති කරනොගතහොත් පරිපූර්ණ පුරවැසියෙකු බිහි නොවේ. නිවාඩු කාලයේ විෂය බාහිර දේ වලින් පෝෂණය වන දරුවන් හුදෙක් පොත පත කියවා අවබෝධය ලබනු පමණක් නොව එයින් එපිට ඇති වටපිටාව ද අධ්‍යනය කරනු ඇත.

වර්තමානයේ පාසල් දරු දැරියන්ට ළමා කාලය ඉතාම සීමිත එකකි. වැඩිහිටියන් තමන් එදා අත් විඳින ලද නිදහස හා අවකාශය ගැන මහත් ආදරයෙන් මතක් කරන නමුත් අද තමන්ගේ දරුවන්ට එකී අවස්ථාව අහිමිවීම ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? යන්න අප අවධානයට ගත යුතු වැදගත් ප‍්‍රශ්නයකි. හොඳ පොතක් කියවන්නට, අත්දැකීම් ලැබෙන සංචාරයක් යන්නට හෝ අඩුම තරමින් ගෙදරදොර කටයුතු වලට හවුල්වෙනු සඳහා දරුවන්ට ඉඩ ලැබෙන්නේ නැත. ඉගෙනුමට අමතරව එයින් පැත්තකට යොමු වුවහොත් එය අනාගතයට බලවත් අවාසියක් බව හිතන දෙමව්පියෝ බහුලය.

ජන සමාජයේ ඇවැතුම් පැවැතුම් සහ සම්බන්ධතා ප‍්‍රායෝගිකව අධ්‍යයනය කරන්නට වෙලාවක් නැති පාසල් දරුවන් විෂය මූලික අධ්‍යාපනයෙහි පමණක් කේන්ද්‍රගත වන අතර එය නරක ප‍්‍රතිඵල ඇති කරයි. අධ්‍යාපන පත පොත හා ටියුෂන් මගින් සියල්ල සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන නමුත් අනාගතයේ දී මෙම පරම්පරාවෙන් සංස්කෘතික උරුමය, මානව අයිතිවාසිකම්, සාධාරණත්වය හා යුක්තිය වැනි උසස් ගුණාංග අපේක්ෂා කරන බව ද මෙහි ලා සඳහන් කළ යුතුව තිබේ.

තදබල ලෙස පතපොතට ඇලී ගැලී එයින්ම අනාගතය සාක්ෂාත් කරගන්නට තැත් දරන ප‍්‍රජාවකගෙන් මෙරට ව්‍යුහය  කෙබදු පරිවර්තනයක් ඇති කරනු ඇත්දැයි අවධානය යොමු කරන්නට අවශ්‍යය. අධ්‍යාපන ප‍්‍රතිපත්ති සම්පාදකයන් පමණක් නොව දෙමව්පියන් ද තමන්ගේ දරුවන් සර්ව සම්පූර්ණ පුරවැසියන් කරනු අපේක්ෂා කරන්නේ නම් පවතින මෙම ස්වභාවය ගැන පුළුල් සංවාදයක් ආරම්භ කිරීම සුදුසුය.

 

 

Advertisements