milinda-prashna

2017/07 /26 – ලංකාදීප

මානව සංහතිය එක්තරා උසස් තැනකට කැඳවන්නේ පරිනාමයයි. අවිචාරයෙන් මිදී විචාරවත් භාවයට හා අවනීතිය හැර නීතියට ගරු කරන තැනට පෙළඹීම මනුෂ්‍යයා අත්පත් කරගත් ජයග‍්‍රහණයකි. මෙකී ස්වභාවය ඇති කරනු සඳහා එදා මෙදා තුර අති විශාල සමාජ, ආගමික සහ දේශපාලන නායකයන් ප‍්‍රමාණයක් දායක වන්නට ඇත. දීර්ඝ ඉතිහාසයක් ඇති සහ විශිෂ්ඨ සංස්කෘතික අනන්‍යතා සහිත ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ද එයින් නොවෙනස්ය.

එසේ නමුත් මෑත කාලය තුළ ජන නායකයෝ පළ කරන්නේ අවර ගණයේ ලක්ෂණ බව පෙනේ. උතුරු මැද පලාත් සභාවේ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම ආසන්න උදාහරණයකි. ප‍්‍රාදේශීය සභාවේ පමණක් නොව ඉහළම පරිපාලන ඒකකය වන පාර්ලිමේන්තුවේ ද අශෝභන සේ හැසිරුන අවස්ථා ගණනාවක් තිබේ. මෙවායින් පෙන්වා දෙන්නේ ජනතා ගෞරවය දිනාගත යුතු ආයතන අප‍්‍රසාදයට පත්වන බවය. මහජනතාවගේ අභිමානයට හේතු විය යුතු නායකයෝ හාස්‍යයට ලක්වන වගය. පාර්ලිමේන්තුව, පලාත් සභාව හෝ වෙනයම් තැනක හැසිරිය යුතු ස්වභාවයක් තිබේ. එය නරක එකක් බවට පත්වන විට ජනතාව තුළ ජනතා නියෝජිතයන් කෙරෙහි කළකිරීම හා පිළිකුළ ඇතිවීම වැලැක්විය නොහැකිය.

සුඛෝපභෝගී වාහනයක් මහ පාරේ යන විට අසාධාරණ මහජන මුදල් ගැන ජනතාව කතාකරයි. දේශපාලනඥයෙකු යනු මහා වංචාකාරයෙක් නැතිනම් දූෂිතයෙක් යැයි පොදුවේ  සඳහන් කරනු පෙනේ. ජනතා සේවය වෙනුවෙන් කැපවෙන බව දක්වන නමුත් මහජන නියෝජිතයෙකු වශයෙන් බලයට පත්වෙන්නට මරාගන්නේ ධනය උපයන අරමුණ ඇතිව බව පොදු ජනතාව තරයේ විශ්වාස කරන බව නිරීක්ෂණය කළ හැකිය. මහජන නියෝජිතයන්ගේ විනය, අවංකබව, කැපවීම බරපතල ලෙස පිරිහී ඇත. කරන කියන දේ ගැන විශ්වාසය තුරන් වී තිබේ. තමන්ගේ දරුවන් පවා තම දෙමාපියන් දේශපාලනය කරන බව කියන්නට කැමැති නැති බව ඇතැම් දේශපාලනඥයන් ප‍්‍රකාශ කර ඇත. දේශපාලනඥයන් කොපමණ පිරිහී ඇත් ද යන්න හදුනාගැනීමට එය එක්තරා සංඥාවකි.

ජනතා මෙහෙවර වෙනුවෙන් බලයට පත්වන මහජන නියෝජිතයෝ තමන්ගේ තත්ත්වය නොසලකා හැසිරෙන්නේ ඇයි? ධනය බලය හමුවේ අතිශය දුෂිතයන් බවට පත්ව ඇත්තේ මන්ද? පාර්ලිමේන්තුවේ හෝ පලාත් සභාවේ දී ගුටි ඇන ගන්නට තරම් ඇතැමුන් පහත් මටට්මට පත්වන්නේ මන්ද? ප‍්‍රශ්නයක් උත්ගත වූ විට සාකච්ඡා කර එකඟතාවයෙන් වැඩ කරන්නට බැරි තැනට පත්වීම ඛේදවාචකයකි.

ලබන අවුරුද්ද වන විට රටට නිදහස ලබා වසර හැත්තෑවකි. පක්ෂ දේශපාලනයට ද දශක හතට අඩු වැඩි ඉතිහාසයක් තිබේ. දේශපාලන පක්ෂ නායකයන් තම අනුගාමිකයන් ගේ විකෘතියට වගකිව යුතුය. මැති ඇමැතිවරුන්ගේ සිට පක්ෂයේ සාමාජිකයන් දක්වා නොමනා සේ හැසිරෙන අවස්ථාවල නිසි පියවර ගත යුතුය. දේශපාලන පක්ෂ වල විනය කමිටුවක් පත් කරගන්නේ ඒ වෙනුවෙන්ය. ජනතාවට වගකියන, ජනතා ගෞරවය ආරක්ෂා කරන දේශපාලනයක් උදෙසා පක්ෂ නායකයන් තද තීරණ ගැනීම අවශ්‍යය.

මෑත කාලයේ දී දේශපාලනඥයන් සඳහා ප‍්‍රඥප්තියක් සකස් කරන බව අනාවරණය විය. එයට කලින් ජනතාව හමුවේ සෘජුව පෙනී සිටින්නට හැකි පසුබිමක් සකස් කරන්නට අවශ්‍යය. සහෝදර ජනතා නියෝජිතයන් සමග ගුටි බැට හුවමාරු කරගන්නට තරම් පිරිහී ඇති අවස්ථාවක ප‍්‍රඥප්ති වලින් පලක් නැත. විනය විරෝධි සිද්ධියක් හෙළිදරව් වූ විට පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඩුවම් කරන ප‍්‍රතිපත්තියක් මුල අනුගමනය කළ යුතුව තිබිණ. එසේ නොකිරීමේ අවසාන ප‍්‍රතිඵලය අද පත්ව ඇති දේශපාලනඥයන්ගේ ගෞරවය පිරිහීම දක්වා වර්ධනය වී තිබේ. පක්ෂ නායකයන් තද තීරණ ගත යුතු මොහොත උදා වී ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය. මැති ඇමැතිවරුන්ට තමන්ගේ නිලතල වල ගරුත්වය බිඳවැටෙන සේ ක‍්‍රියා කිරීම පහසුය. නූතන මාධ්‍ය භාවිතාව ද සමාජයක් වශයෙන් අප සියළු දෙනා ද එයට අනුබල දෙමින් සිටී. නමුත් බිඳ වැටුණ පසු නැවතත් මහජන විශ්වාසය ගොඩනගාගැනීම පහසු නැත. දේශපාලනඥයන් තේරුම්ගත යුතු සත්‍ය එයයි.

 

 

Advertisements